epf-etf-government

වැඩකරන කෝටි දෙකකට අධික ජනතාවකගේ සක්‍රිය ගිණුම් ඇති සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය ඉදිරිපත් කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීම සඳහා විරෝධතා ගෙනු කරන බව නීතිපතිවරයා ඊයේ (27දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ විරෝධතා දැනටමත් අධිකරණයේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය දැනුම් දුන් අතර පෙත්සම අගෝස්තු මස 03වැනිදා කැඳවීමට අධිකරණය නියම කළේය.

රජය සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් ලබාගෙන ඇති ණය කප්පාදු කිරීමට කටයුතු කළහොත් එම අරමුදල්වල සාමාජිකයන්ට දැඩි අගතියක් වන බව පවසමින් අන්තර් සමාගම් සේවක සංගමය ඉදිරිපත් කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු ලැබූ අවසථාවේදී එලෙස නියම කෙරිණ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණ අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවනු ලැබීය.



අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති වසන්ත සමරසිංහ, එහි ලේකම් ජනක අධිකාරි ඇතුළු හයදෙනෙකු ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, එහි මූල්‍ය මණ්ඩලය, සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ ප්‍රධානීන්, නීතිපතිවරයා ඇතුළු 46දෙනෙකු නම් කොට ඇත.

සේවක අර්ථසාධක අරමුදල තුළ රටේ වැඩකරන කෝටි 02කට අධික ජනතාවකගේ සක්‍රිය ගිණුම් ඇති බවත්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ තුළ ආසන්න වශයෙන් රටේ වැඩකරන කෝටි 2 1/2කට අධික ජනතාවකගේ සක්‍රිය ගිණුම් ඇති බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ සේවක අර්ථසාධක අරමුදලේ ඇති මුදල්වලින් 93%ක් පමණ මහ බැංකුව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් සහ මහබැංකු බැඳුම්කරවල ආයෝජනය කර ඇතැයිද සේවක අර්ථසාධක අරමුදලෙන් අරමුදල්වලින් රු. බිලියන 2390.4 ක් රජයේ බැඳුම්කර හා සුරැකුම්පත්වල ආයෝජනය කර ඇතැයිද පෙන්වා දෙති.

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ ඇති මුදල්වලින් 86% ක් පමණ (රු. මිලියන 352 544 වටිනා) රජයේ සුරැකුම්පත්වල සහ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ පසුගිය මාර්තු මස 22වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම පාර්ලිමේන්තුවට සභාගත කොට ඇතැයිද පෙන්වා දෙති.



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතාවට අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයිද, ජාත්‍යන්තර ණය හිමි ආයතනවලට ඒ බවට ප්‍රතිඥාවක් ලබාදී ඇතැයිද, පෙන්වාදෙන පෙත්සම්කරුවෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අනුමැතිය ලබාගැනීම සඳහා සති අන්තයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාර 02ක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන ඇතැයිද, ඒ යටතේ ජුනි මස 30වැනිදා විශේෂ බැංකු නිවාඩුවක්ද රජය ප්‍රකාශයට පත් කොට ඇති බවද පෙන්වා දෙති. සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් රජය ලබාගෙන ඇති ණය කප්පාදු කළහොත් කෝටි 02කට අධික එහි සාමාජිකයන්ට දැඩි අගතියක් වන බවත්, මෙවැනි කටයුත්තක් සඳහා රජය අදාළ අරමුදල්වල සාමාජිකයන්ගේ කැමැත්ත ලබාගෙන නැතැයිද පවසති.

රජය එහි සාමාජිකයන්ගේ අදහස් විමසීම ප්‍රතික්ෂේප කිරීමෙන් රාජ්‍ය ප්‍රතිපත්තීන් උල්ලංඝනය කර ඇතැයිද, ඉන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන්නැයිද, ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් රජය ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.



පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා මූලික විරෝධතා මතු කිරීමට අපේක්‍ෂා කරන බවද ඊට අදාළ විරෝධතා මේ වන විටත් ගොනුකර ඇතැයිද කීවාය. ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ලබන අගෝස්තු 03වැනිදා කැඳවීමට නියම කළ විනිසුරු මඬුල්ල දෙපාර්ශ්වයේ කරුණු හා සැලකිරීම් එදින සලකා බලන බවද දැනුම් දුන්නේය.

• බුද්ධිමාල් රුබේරු