esala-perahera-electricity

ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාවේදී විදුලි බල මණ්ඩලය මගින් ලබාදෙන විදුලිය වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂ අනූ නවදහස් දහයක මුදලක් (1,32,99010) වැය වන බවට ඇස්තමේන්තු කර ඇති අතර එම මුදල කලින් ගෙවන්නැයි විදුලිබල මණ්ඩලය ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාලවලට දැනුම් දී ඇත.රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කර ඇති මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු මස 21 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඇස්තමේන්තුවේ වීදි ආලෝකකරණය සඳහා වැයවන මුදල් ද දක්වා තිබීම විශේෂත්වයකි.



විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) එච්.එස්. බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අදාළ ලිපිය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාට සහ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන්ට යොමුකර ඇත.ශ්‍රී දළදා මාලිගාවෙන් රුපියල් 34,12,479 මුදලක්ද නාථ දේවාලයෙන් රුපියල් 11,22,145 ක මුදලක් ද විෂ්ණු දේවාලයෙන් රුපියල් 13,68,385ක මුදලක් ද කතරගම දේවාලයෙන් රුපියල් 11,02,705ක මුදලක් ද පත්තිනි දේවාලයෙන් රුපියල් 11,05,705ක මුදලක් ද පෙරහර ආරම්භ වීමට පෙර ගෙවන ලෙස දැනුම් දී ඇත.

ඊට අමතරව එම කාලය තුළ වීදි ආලෝකකරණය සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් 44,41,273 ක මුදලක් ද ගෙවන ලෙස විදුලිබල මණ්ඩලය දන්වා ඇත. මේ සම්බන්ධයෙන් බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති, පත්තිනි දේවාලයේ නිලමේ හේමන්ත බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ විදුලිබල ඇමැතිවරයාගේ අවධානය යොමුකර සහනයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ෂේන් සෙනෙවිරත්න