eye-hospital-death

කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍ය කර්මයක් සිදු කිරීමෙන් පසු මියගිය තිස්පස් හැවිරිදි දෙදරු මවගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර විසින් තහවුරු කර ඇත.

ඊයේ (6 වැනිදා) මෙම කාන්තාවගේ මරණ පරීක්ෂණය සිදු කළ අතර, එමගින් තහවුරු වී ඇත්තේ ඇගේ හෘදයෙහි අධික ලෙස මේදය තැන්පත් වී තිබූ බවත් ඒ අනුව හදිසි හෘදයාබාධයක් වැලඳී ඇති බවත්ය.



මියගිය කත මීට පෙර කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් ඇසට කාචයක් දමාගෙන ඇති අතර, පසුව ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් යළි එම ඇසේ ශල්‍ය කර්මයක් කිරීමට එදිනම රෝහලට ඇතුළත් වී තිබේ.

ඒ අනුව පෙරේදා (5 වැනිදා) ඇය අදාළ ශල්‍යකර්මයකට භාජනය කර ඇත. එම ශල්‍ය කර්මය සිදු කිරීමට පෙර ඇයට නිර්වින්දන ඖෂධක් ලබා දී ඇති අතර, ශල්‍ය කර්මයෙන් පසු ඇය සිහිය නොලබා හෘදයාබාදයක් වැලඳී මෙසේ මිය ගොස් තිබේ.

මේදය තැන්පත්වී හෘද නාළ අවහිරවූ අයකුට යම් නිර්වින්දන ඖෂධයක් ලබා දුන් පසු ශරීරයේ සිදුවන වෙනස්කම් සමග මෙසේ හෘදයාබාධ වැලඳීමේ සම්භාවිතාවක් ඇති විය හැකි බවද වෛද්‍යවරු පෙන්වා දෙති.

මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගොඩ, බොරලුකැටිය දකුණ, පදිංචිව සිටි එච්.ජී. හිමාලි ප්‍රියදර්ශනී වීරසිංහ නමැති දෙදරු මවකි.



මේ අතර, ශල්‍ය කර්මය සිදු කිරීමෙන් පසු ඇය සිහි නොලබාම මරණයට පත්වීම ගැටලු සහගත බවත් ශල්‍ය කර්මය කිරීමට ඇයට ලබාදුන් නිර්වින්දන ඖෂධය විස වීම නිසා මෙම මරණය වන්නට ඇති බවටත් පවුලේ ඥාතීහු චෝදනා කරති.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සහ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මෙම මරණය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටිති.

එසේ පරීක්ෂණයක් පවත්වා මෙම මරණය සිදුව ඇත්තේ නිර්වින්දන ඖෂධයේ ප්‍රතිඵලයක්ද, ශල්‍යකර්මයේ අතුරු ප්‍රතිඵලයක් ද, වෙනත් කායික රෝගී තත්ත්වයක් ද නැතහොත් වෙනත් ඖෂධයක සංකූලතාවයක් නිසා ඇතිවූ තත්ත්වයක් දැයි නිසි පරිදි වොහාරික හා විශ්ලේෂණ වාර්තාවක් මගින් ප්‍රකාශ කරන ලෙස ඔවුහු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරති.