france-tense-situ

ප්‍රංශයේ පැරිස් නුවර ආසන්න මාර්ගයකදී පොලිස් නිලධාරියෙකු විසින් තබන ලද වෙඩිල්ලක් හේතුවෙන් උතුරු අප්‍රිකානු සම්භවයක් සහිත නාහෙල් එම්. නම් 17 හැවිරිදි තරුණයෙකු මිය යාමත් සමග එරට පුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී අරගලකාරී තත්ත්වයට ඊයේ (04දා) දිනය වනවිට සතියක් සම්පූර්ණ විය.මෙම සතියක කාලය තුළදී කලහකාරි ලෙස හැසිරුණු ප්‍රංශ තරුණයන් පැරිස් නගරයද ඇතුළුව ස්ථාන රැසකදී රථවාහන 3,000කට ආසන්න  සංඛ්‍යාවක් ගිනි තබා තිබේ. එසේම ආසන්න පැය 24 දීත් ගොඩනැගිලි 24ක් වෙත හානි කිරීම් හෝ ගිනි තැබීම් සිදු කිරීමටද මෙම කණ්ඩායම් පියවර ගෙන තිබුණි.



මෙහිදී 17 හැවිරිදි තරුණයාගේ මරණයත් සමග අදාළ අරගලය ආරම්භ කිරීම පිටුපස ප්‍රංශයේ වෙසෙන අන්තවාදී මුස්ලිම් ජනතාව සිටින බව එරට පොලීසිය පවසයි.

ඔවුන් පසුගිය දින හත පුරාම එරට වීදි පුරා 'අල්ලාහු අක්බර්' යනුවෙන් පවසමින්, මිය ගිය තරුණයා වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතු බව පවසා තිබේ. එසේම ඇතැම් පිරිස් ප්‍රංශය ඇතුළුව යුරෝපය තුළ තම ඉස්ලාම් දේශය බිහිකරන බවටද පවසා තිබුණි. ඇති වූ මෙම අරගලකාරී තත්ත්වය හමුවේ මෙතෙක් කිසිදු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව නොමැති නමුත්, විශාල පිරිසක් තුවාල ලැබීම්වලට ලක්ව ඇතැයි සඳහන් වෙයි. එසේම 3,000කට අධික පිරිසක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මෙහිදී දේපළවලට හානි කිරීමට අමතරව දේපළ මංකොල්ලකෑමේද මෙම පිරිස නිරත වූ බවට සාක්ෂි පවතී.

තත්ත්වය පාලනය සඳහා මෙතෙක් පොලිස් නිලධාරීන් 45,000ක් යෙදවීමට ප්‍රංශ බලධාරීන් පියවර ගෙන තිබේ. මේ අතර ප්‍රංශය තුළ හටගත් මෙම අරගලයකාරී තත්ත්වය පාලනය සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන් පසුගියදා එරට තුළ අන්තර්ජාල පහසුකම් සහ සමාජ මාධ්‍ය වාරණයක් පැමිණවීමටද කටයුතු කළේය. කෙසේ වෙතත් වෙනත් රටවල ජනතා ගැටුම් මැඬපැවැත්වීම සදහා මෙවැනි ක්‍රියාමාර්ග ගනිද්දී එය මානව හිමිකම් කඩකිරීම් බවට උලුප්පා පෙන්වන ප්‍රංශයට මෙවර තමන් වෙනුවෙන්ම එම තීරණය ගැනීමට සිදුවීම දෛවයේ සරදමක් බවටද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණි.


තත්ත්වය මෙසේ පවතිද්දී ප්‍රංශය පුරාම  පිහිටි නගරවල නගරාධිපතිවරුන් පසුගිය සඳුදා දිනයේදී එම ප්‍රචණ්ඩකාරී අරගලයට එරෙහිව රැලි සංවිධානය කරන්නට පියවර ගෙන තිබේ. එසේම ප්‍රංශ ජනාධිපති මක්රෝන්ද ඊයේ (04දා) දිනයේදී නගර සභා 220ක නගරාධිපතිවරුන් හමුවී මේ දක්වා අරගලය හේතුවෙන් සිදුව ඇති හානිය පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවත් සඳහන් වෙයි. මේ අතර මෙම ප්‍රචණ්ඩකාරී අරගලය ඇති වීම සඳහා හේතු වූ 17 හැවිරිදි තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පොලීසියේ වැරැද්දක් නොමැති බව එරට ජනතාගේ අදහස වී තිබේ. එම නිලධාරියා වෙනුවෙන් ආරම්භ කෙරුණු අරමුදල් රැස් කිරීමක් වෙනුවෙන්ද ඊයේ දිනය වනවිට අතිවිශාල මුදල් ප්‍රමාණයක් රැස්ව තිබුණි.

මෙම තරුණයා කඩාකප්පල්කාරී ක්‍රියාවන් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවත්, එම අවස්ථාවේදී ඔහු පදවාගෙන ගොස් ඇත්තේද සොරකම් කරන ලද රථයක් බවටත් අනාවරණය වී තිබේ. එසේම මෙම විරෝධතාව පිටුපස ප්‍රංශයේ වෙසෙන සරණාගත පහසුකම් හිමිකරගත් මුස්ලිම් නතාව සිටින බවත් ජනතාව පවසයි. ඒ අනුව මෙය මැදපෙරදිග රටවල වෙසෙන අන්තවාදී මුස්ලිම් ජනතාවට සරණාගත රැකවරණ ලබාදෙන ප්‍රංශයට හොඳ පාඩමක් බවටද ජනතාව චෝදනා කර සිටියි.