fraud-woman

සමාජ මාධ්‍යයේ හා පුවත්පත්වල පළවන දැන්වීමකට දුරකතන ඇමතුමක් දී මෙහෙකාර සේවයට පැමිණ නිවැසියන් රවටා රුපියල් ලක්ෂ පනහකට ආසන්න රන් භාණ්ඩ සොරාගෙන පලාගොස් සැඟව සිටි කාන්තාවක පෙරේදා (03) දා අත්අඩංගුවට ගත්බව මත්තෙගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මෙහෙකාරියක බව පොලීසිය කියයි. ඇය පුවත්පත් වල හා සමාජ මාධ්‍යයේ පළ වී තිබූ දැන්වීමකට දුරකතන ඇමතුමක් දී මත්තෙගොඩ ගෝල්ඩන් මෙඩෝස් ප්‍රදේශයේ නිවෙසකට ඉකුත් අප්‍රේල් මාසයේදී මෙහෙකාර සේවයට පැමිණ ඇත.



පසුව නිවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර නිවෙස හිමි කාන්තාව නිවසේ පිහිටීම පිළිබඳව සියලු තොරතුරු පවසා නවාතැන් ගැනීම සඳහා ඇයට වෙනම කාමරයක් ලබාදී තිබේ. ඒ අනුව කාමරයට ගොස් රෙදි බෑගය තබා පැමිණ පැයක් ඇතුළත අධික ලෙස වෙහෙස මහන්සි වී නිවසේ වැඩ කටයුතු රැසක් සිදු කර නිවැසියන්ගේ සිත් දිනාගෙන, ඒ අතරතුරදී කාමරයක මේසයක් මත තිබූ රුපියල් ලක්ෂ තුනක් වටිනා රන් මුදු දෙකක් සොරාගෙන තිබේ. පසුව මෙහෙකාරිය පැමිණ නිවෙස හිමි කාන්තාවට පවසා ඇත්තේ "අනේ නෝනා මගේ දුව වැඩිවියට පත් වෙලා මට ඉක්මනට ගෙදර යන්න ඕනෑ තරහ වෙන්න එපා වැඩ ටික ඉවර වුණ සැණින් මම එන්නම්" යනුවෙනි.

පසුව එදින සවස මුදු දෙක තැබූ තැනින් සොයා බැලීමේදී එය නොමැති නිසා මෙහෙකාරිය පිළිබඳ සැක සිතී පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇත. පසුව ඇයගේ ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ගෙන විශේෂ කාර්යාංශයේ බුද්ධි තොරතුරකට අනුව කෝට්ටේ ප්‍රදේශයේ තවත් නිවසක එවැනිම මෙහෙකාර සේවයට යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සැකකාරිය සන්තකයේ තිබූ රන් භාණ්ඩ උකස් කළ රිසිට් පත් කිහිපයක් හරහා ඇය රුපියල් ලක්ෂ දාසයක් වටිනා රන් භාණ්ඩ තොගයක් බොරලැස්ගමුව හා මහරගම ප්‍රදේශවල උකස් මධ්‍යස්ථානවලට උකස් කර තිබියදී පොලිස් බාරයට ගෙන තිබේ.



පසුව තවදුරටත් විමර්ශනය කිරීමේ දී කළුතර ගම්පහ අංගොඩ කොහුවල හෝමාගම තලංගම මහරගම බොරැල්ල කහතුඩුව කිරිබත්ගොඩ හංවැල්ල කැස් බෑව හා මහබාගේ පොලිස් වසම්වල නිවාසවලට මෙහෙකාර සේවයට ගොස් රුපියල් ලක්ෂ 50ක පමණ රන් භාණ්ඩ මෙලෙසම සොරාගෙන පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කීය. එලෙස උපයාගන්නා මුදලින් සිය තෙවන අනියම් සැමියා සමග තැන තැන ගොස් විනෝද වීම සඳහා වැය කර ඇති බවත් ඔහුට හෙරොයින් පානයට මුදල් ලබාදී ඇති බවත් කියයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය කැස් බෑව අධිකරණයට (04) දා ඉදිරිපත් කිරීමට නියමිතය.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න