galle-face-incident

කොළඹ ගාලුමුවදොර පිටියේදී හත් හැවිරිදි දැරියක පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයකු පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කොටුව පොලීසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු (33) බවත්, ඔහු කොළඹ ප්‍රදේශයේ නැවතී සිට මාස 7ක පමණ කාලයක් තිස්සේ ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස කටයුතු කර ඇති බවත් පොලීසිය පවසයි.





මොරටුව ප්‍රදේශයේ පදිංචි දැරියක සිය මවුපියන් සමග පෙරේදා (23) පස්වරුවේ ගාලුමුවදොරට පැමිණ ඇති බවත්, රාත්‍රී 11.00 පසුවන තෙක්ම ඔවුන් ගාලුමුවදොර රැඳී සිටිමින්, විනෝද වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි. දැරිය මවුපියන් සමග රැඳී සිටියදී සැකකරු රාත්‍රී 11.15ට පමණ එක්වරම දැරිය ඇදගෙන යාමට උත්සාහ ගෙන ඇති අතර, දැරිය හා දැරියගේ මවුපියන් උදව් ඉල්ලා කෑගැසීමත් සමග අවට සිටි පිරිස සැකකරු ඒ මොහොතේම අල්ලාගෙන,

ඔහුර පහරදී ඇති බව ද පොලීසිය කියයි.

ගාලුමුවදොර ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ද සිද්ධිය ද සැලවීමත් සමග එම ස්ථානයට ගොස්, පිරිසගේ පහරකෑමට ලක්වූ පුද්ගලයා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට ද පහර එල්ල වී ඇති බව පොලීසිය සඳහන් කරයි. පොලිස් නිලධාරීන් මහත් පරිශ්‍රමයක් යොදා සැකකරු පොලිස් බාරයට ගෙන, එම ස්ථානයෙන් රැගෙන ගොස්, කොටුව පොලීසියට බාර දී ඇත.  ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්දිකා රාමනායක