gampaha-baby-issue

ගම්පහ මහ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකටයුතු අන්දමින් මියගිය දින 22ක් වයසැති පිරිමි දරුවා තම දරුවා නොවන බවත්, එබැවින් මළ සිරුර බාරගැනීමට නොහැකි බවත්, මියගිය දරුවාගේ දෙමව්පියෝ ගම්පහ මහ රෝහලේ පෙරේදා (8) පැවැති මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ගම්පහ  වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා ඉදිරියේදී ප්‍රකාශ කළහ.

ගම්පහ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති දින 22ක් වයසැති බිලිඳු මළ සිරුර සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලෙසට පෙරේදා ( 8 ) ගම්පහ පොලීසිය  මහේස්ත්‍රාත් ගම්පහ අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් ඉල්ලීමක් කළේය.



ඒ අනුව, ගම්පහ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මියගේ උපදෙස් මත, ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත්  මහතා ගම්පහ රෝහල වෙත ගොස්, රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ බිලිඳු මළ සිරුර සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මළ සිරුර හඳුනා  ගන්නා ලෙසට දෙමව්පියන්ට දැනුම් දුන්නේය. බිලිඳාගේ මෘත දේහය පරීක්ෂාවට ලක් කළ දෙමව්පියන්, මළ සිරුර තම දරුවාගේ නොවන බවත්, ඒ නිසා එය බාරගැනීමට නොහැකි බවත් පැවැසීමෙන් අනතුරුව, මෘත දේහය මෘත ශරීරාගාරයේ සුරක්ෂිතව  තැන්පත් කර තබන ලෙසට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා රෝහල් බලධාරීන්ට නියම කළේය.

මෘත දේහය සහ දෙමව්පියන් ජෛව පරීක්ෂණයකට (ඩී. එන්.ඒ.) යොමු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර, වාර්තාව එළැඹෙන 17 වැනිදා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ගම්පහ ප්‍රධාන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියම කළේය.

මිය ගිය බිලිඳා මව විසින් ප්‍රසූත කරනු ලැබ ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අනාවරණය විය. මවට සිදු කළ සිසේරියන් සැත්කමක් මගින් මෙම දරුවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී උපත ලැබූ බවත්, ඔහු එහි නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කිරීමට ජයවර්ධනපුර රෝහල් බලධාරීන් කටයුතු කර, පසුව ගම්පහ රෝහලට මාරු කර එවා, එහි නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගොස් ඇති බවත්, මූලික මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය විය.

මිය ගිය බිලිඳාට ප්‍රතිකාර කරනු ලැබූ ජයවර්ධනපුර මහ රෝහලේ සහ ගම්පහ රෝහලේ වෛද්‍ය සහ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස ගම්පහ  මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියම කළ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා, මියගිය දරුවා සහ ඔහුගේ දෙමව්පියන්ගේ ජෛව සාම්පල වාර්තා සහ පරීක්ෂණවල ප්‍රගතිය එළැඹෙන 17 වැනිදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියම කළේය.

ටෝනි කරුණානායක