gampaha-monk-incident

දරිද්‍රතාව හේතුවෙන් ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදි වී සාමණේර හිමිවරුන් වශයෙන් සිටි අයියාට බරපතළ ලිංගික අපචාරයක් කොට මල්ලීට බටයකින් පහරදීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පවරා තිබු නඩු දෙකක චෝදනාවන්ට වරද පිළිගත් ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හිමි නමකට වසර 3 1/2ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය අගතියට පත් බාලවයස්කාර අයියා-මලෝ දෙදෙනාට රුපියල් ලක්ෂ 06ක වන්දියක් ගෙවීමටද ඊයේ (27දා) නියම කළේය.

ශාසන කටයුතුවල යළි නියැළිය හැකි වන ආකාරයේ ලිහිල් දඬුවම් නියම කරන්නැයි හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකාර හිමිනමට නියම කළ වසර 3 1/2ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් කාලය වසර 05ක කාලයකට අත්හිටුවීමටද

නියම කළ මහාධිකරණය හිමිනම රුපියල් 5000/-ක දඩයකටද යටත් කළේය.

බාලවයස්කාර දරුවාට (මල්ලිටා බටයකින් පහර දී තුවාල කිරීමේ චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාද අයියාට බරපතළ ලිංගික අපයෝජන කිරීමේ චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු මංවුණු තිලකරත්න මහතාද විත්තිකාර හිමියන්ට මෙලෙස දඬුවම් නියම කර ඇත.

විත්තිකාර හිමියන්ගේ විහාරස්ථානයේ සාමණේර හිමිවරුන් වශයෙන් සිටි එකම පවුලේ අයියා-මලෝ දෙදෙනාගෙන් මල්ලීට 2016 වසරේ දී බටයකින් පහර දී තුවාල කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේද, අයියාට 2017 වසරේදී බරපතළ ලිංගික අපයෝජන කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා යටතේද වෙන වෙනම නඩු පවරා තිබිණ.



අතවර අවස්ථාවලදී සාමණේර හිමිවරුන් වශයෙන් සිටි එකම පවුලේ අයියා මලෝ වන වින්දිත දරුවන් දෙදෙනා මේ වන විට උපැවිදි වී ඇති අතර නඩු දෙක අධිකරණවල වෙන වෙනම කැඳවනු ලැබූ අවස්ථාවලදී වින්දිත දරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

එම නඩු දෙක කැදවනු ලැබූ අවස්ථාවලදී විත්තිකාර හිමියන්ද අධිකරණයේ පෙනී සිටි අතර එම චෝදනාවන්ට විත්තිකාර හිමියන් වෙන වෙනම වරද පිළිගත්තේය. නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥවරු පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් අතවරයන්ට මුහුණ පෑ දරුවන් වවුනියාව ප්‍රදේශයේ එකම පවුලක අයියා මලෝ දෙදෙනකු බවත් ඔවුන් විත්තිකාර හිමිගේ ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයේ මහණ වී සාමණේරවරුන් වශයෙන් සිට ඇතැයිද දැනුම් දුන්හ. ඒ අවස්ථාවේදී ඔවුන් මෙම අතවරයන්ට මුහුණ දී ඇතැයි දැනුම් දුන් රජයේ නීතිඥවරු විත්තිකාර හිමියන්ට සුදුසු දඬුවම් නියම කරයි ඉල්ලා සිටියහ.

බුද්ධිමාල් රුබේරු