gannoruwa-agri-fraud

ගන්නෝරුව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මුදල් අයකැමිවරිය  විසින් සිදුකරන ලදැයි කියන රුපියල් කෝටි එක හමාරක පමණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් එම ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (27) පැමිණිල්ලක් කර ඇත. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ, පාලනය වන එම ආයතනයේ විවිධ කටයුතු සඳහා කරන ගෙවීම් හරහා මුදල් අයකැමිවරිය පරිගණකයට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර මෙම මහා පරිමාණ වංචාවා සිදුකර ඇති බවට අනාවරණය වී ඇතැයි පැවැසේ. මෙම වංචාව 2018 සිට මේ දක්වා වසර පහක පමණ කාලයක් සිදු වී ඇති බවට අභ්‍යන්තර විමර්ශනවල දී අනාවරණය වී ඇත.



විවිධ රෝග හේතුවෙන් මරණයට පත්වන සතුන්, සුරතල් සතුන් සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා ද මෙම ආයතනය මගින් නිකුත් කරන අතර මියගිය සුනඛයකු සම්බන්ධව පරීක්ෂණ වාර්තාවක් ගැනීමට පැමිණි පශු වෛද්‍යවරයකුට එම වාර්තාව ලබා දීමට රුපියල් 90,000 ක පමණ මුදලක් එම ආයතනයට ගෙවූ බවට මුල් රිසිට්පත ලබා දී ඇත. මුල් රිසිට්පත අස්ථාන ගතවීම හේතුවෙන් වසර කිහිපයකට පසුව එම රිසිට් පතේ පිටපතක් ගැනීමට එම පශු වෛද්‍යවරයා එම ආයතනයට ගිය අවස්ථාවේ එහි 90,000 වෙනුවට රුපියල් 9000 ක් ලෙසට සටහන් වී ඇති බවට අනාවරණය වී ඇත.

පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශය ද සතුන් හා සත්ව ආහාර ආනයනයේදී හා අපනයනයේදී,

ගෙවීම් සිදුකර මෙම ස්ථානයෙන් වාර්තා ලබා ගැනීම අනිවාර්ය කටයුත්තක් වන අතර මධ්‍යම කුකුළු පරේශ්ෂණ ආයතනයෙන් දිනක් වයසැති කුකුළු පැටවුන් මිලදී ගැනීමේදී ද මුදල් ගෙවිය යුතුව ඇත්තේ මෙම පශු වෛද්‍ය පරික්ෂණ ආයතනයට වේ. එම මුදල් ද මෙම ආයතනයට ගෙවීම හේතුවෙන් දෛනිකව අති විශාල මුදලක් මෙම ආයතනය තුළ සංසරණයක් වන බව එම ආයතන ආරංචි මාර්ග කියයි. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මියන්ගෙන් මේ පිළිබඳව කළ විමසීමක දී ඇය පැවසුවේ වංචාවක් සම්බන්ධයෙන් මුදල් අයකැමි වෙත චෝදනාවක් එල්ල වී ඇති බවය. ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර අභ්‍යන්තර  විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව ඇය ප්‍රකාශ කළාය.

ෂේන් සෙනෙවිරත්න