garment-profit-loss

2023  වසරේදී මෙරට ඇඟලුම් අපනයන ආදායමෙන් 25%ක් පමණ අඩුවනු ඇතැයි පුරෝකථනය කර ඇති බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ආරංචිමාර්ග පවසයි. යුරෝපයෙන් මෙරටට ලැබුණු ඇණවුම් අඩුවීම ඊට හේතු වී ඇති බව එම වාර්තාවලින් වැඩිදුරටත් කියැවේ.

පසුගිය වසරේදී යුරෝපයෙන් ඇණවුම් කළ ඇඟලුම් නිෂ්පාදන තොග තවමත් අවසන් වී නොමැති බැවින් නව ඇණවුම් ලැබීම අඩාළ වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. මෙම වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ පෙර වසරට සාපේක්‍ෂව ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 363.3ක් අඩු වී ඇති බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වාදී තිබේ.

ඒ අනුව මෙම වසරේ මුල් මාස පහක කාලය තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,843.3ක මුදලක් උපාය තිබෙන බවත්, එය පසුගිය වසරේ ජනවාරි සහ මැයි මාසය සමග සසඳන ව්ට 16.5%ක පහත වැටීමක් බවත් වාර්තා වේ.

පසුගිය වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2206.6ක් උපයා තිබෙන බව එම දත්ත වාර්තාවල සඳහන් වේ. ගෝලීය ආර්ථිකය පසුබෑමට ලක්වීම හේතුවෙන් මෙම වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ඉපැයීම් 14.2%කින් පහත වැටී ඇති බවද එම දත්ත වාර්තාව මගින් පෙනී යයි. පසුගිය වසරේ පළමු මාස 5ට සාපේක්‍ෂව මෙම වසරේ පළමු මාස 5 තුළ රෙදිපිළි අපනයන ආදායමද 3.1%කින් පහත වැටී ඇති බවත්, අනෙකුත් නිම කළ රෙදිපිළි ද්‍රව්‍ය 19%කින් පහත වැටී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.