gmoa-speaks

රෝහල්වලට අවශ්‍ය සියලු ඖෂධ ඉහල මිළ ගණන් යටතේ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් ලංකාවට ගෙනඒම පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට චෝදනා කර තිබේ.

මේ පිළිබදව මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසූයේ “රටේ මහජනයා විශාල ආර්ථික හා සමාජ පීඩාවකට පත්වෙලා ඉන්න කාලවකවානුවක ඔවුන්ගේ ජීවිතය රැකගැනීමට අවශ්‍ය බෙහෙත් පෙත්තවත් අඩු මිලට නිසි ප්‍රමිතියෙන් ලබාදීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යයවරයාට නොහැකි වී ඇති බවය.



කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍යය අමාත්‍යවරයා වී වසර දෙකකට වැඩි කාලයක් වන අතර අමාත්‍යය ධූරයේ දිවුරුම් දුන් කාලයේ සිටම ඔහු පවසන්නේ ඉදිරියෙදි ඉහළ මිළ ගණන් යටතේ ඖෂධ ගෙන්වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය අත්හිටුවා සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ අඩුමිලට තත්වයෙන් උසස් ඖෂධ ලංකාවට ගෙනඒමට කටයතු කරන බවය. නමුත් අමත්‍යවරයා එය කරන දවස බාලගිරි දෝෂය මෙන් දින නියමයකින් තොරව කල්දමමින්  සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍යය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.

අඩු මිලට නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ ඖෂධ ගෙන්වීමට නොහැකිනම් රට තුළ රසායනාගාරයක් ස්ථාපිතකොට ඖෂධ නිෂ්පාදනය කිරීමට හෝ අමාත්‍යයවරයා පියවරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස වන්නේය.

ඔහු වැඩිදුරටත් පැවසූයේ අසරණ රෝගීන් අපහසුතාවයට පත්නොකර මේ පිළිබදව ස්ථීර විසදුමක් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම බවත් එම වගකීමෙන් ඔහුට මිදිය නොහැකි බවත්ය”