රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්‍රන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 4ක්, තම සිරුරේ රහස් ප්‍රදේශයේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක ඊයේ (ජූලි 4දා) උදෑසන හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේ (EOC) නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණි.

මේ සම්බන්ධ මුල් පුවත පළවූ අවස්ථාවේ බොහෝ දෙනා පවසා තිබුනේ ‘රත්තරන් ජෙල් ‘ නමැති ද්‍රව්‍යයක් ගැන අසා නැති බවයි.

කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ රූපලාවණ්‍ය භාණ්ඩ අලෙවි කරන සාප්පුවක වයස අවුරුදු 24ක තරුණියක අතට මෙවැනි දෙයක් ලැබෙන්නේ කෙසේද? යන්න සොයා බැලීමේදී ඇතැම් ජාවාරම්කරුවන් ගුවන් තොටුපළ සේවකයින් හා සම්බන්ධවී කරන වංචනික දේවල් පිළිබඳ පුළුල් හෙළිදරව්වක අවශ්‍යතාවද පැනනැගී ඇත.

ගුවනින් මෙරටට එන අයට තමන් සගවා ගෙන පැමිණෙන දේවල් පිට කිරීමට ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය උදව් කරන්නේ නම් එය වැටත් නියරත් ගොයම් කෑවා වැකියට සමාන සිද්ධියකි.

බොහෝ දුරට පවතින විශ්වාසවන්ත කම නිසා ගුවන් තොටුපළට සේවයට යන එන අය පරීක්ෂාවන්නේ අඩුවෙනි.

ඔවුන් සැකකටයුතු දේවල් රැගෙන යාම ගෙන ඒම සිදු කරාවි යයි ආරක්ෂක අංශ කුතුහලයෙන් පරීක්ෂා කරන අවස්ථාද විරලය. මෙම වාසිය උදව් කරගෙන මෙම ඩියුටි ෆ්‍රී සේවිකාව සොරෙන් ජෙල් ද්‍රාවණ පැකට්ටු දෙක සිය රහස් ප්‍ර දේශයේ සඟවා ගිය බවත් ඇය ඇවිද යද්දී පෙන්නුම් කළ නුහුරු ගතිය සීසීටීවී නිරීක්ෂණ වලදී පෙන්නුම් කළ නිසා ඇතිවූ සැකය මත පරීක්ෂාවේදී මෙම ද්‍රාවණ පාර්සල් හමුවී තිබුණි.සේවය නිම වී උදෑසන 08.45ට පමණ පිටතට යමින් සිටියදී
කිලෝ ග්‍රෑම්  5.6කට අධික බරකින් යුතු රත්රන් ජෙල් අඩංගු පාර්සල් 4ක්  ගුවන් තොටුපොළ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේ (EOC) නිලධාරීන් දෙදෙනෙකුට සෝදිසියේදී හඳුනාගන්නට ලැබුණ බවත් පැවසිනි.


ජෙල් ද්‍රාවණ අඩංගු පාර්සල් 4 වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාර්මික පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබෙන අතර රත්තරන් ජෙල් ගැන සොයා බැලීමේදී වර්තමානයේ ජාවාරම්කරුවන් රත්රන් මේ ආකාරයට ජෙල් වශයෙන් සකස් කර මෙසේ නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරන
බවත්  මෙසේ සකස් කර ඇති ජෙල් යළි රත්රන් බවට පත් කිරීමේ තාක්ෂණය කලාපීය වශයෙන් ඉන්දියාවේ පමණක් හඳුනාගන්නට ලැබී ඇති බවත් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය දන්වා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට සැකකාරිය පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.