health-issues-chamal-sanjeewa

සෞඛ්‍ය පද්ධතිය තුළ මේ වන විට විශාල අර්බුද ප්‍රමාණයක් ඇති වී තිබෙන අතර, මේ නිසා නිදහස් සෞඛ්‍ය සේවය පිළිබඳව ජනතාව වැරදි අදහසක් ඇති කර ගනිමින් තිබෙන බවටත් රට තුළ කතාබහක් ඇති වී තිබේ. මේ පිළිබඳව හා සෞඛ්‍ය සේවයේ ඇති වී තිබෙන ගැටලු නිර්මාණය වූ ආකාරය පිළිබඳව අද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සමග කතාබහක නිරත විය.

වර්තමාන සෞඛ්‍ය අර්බුදය වර්තමානයේ අපේ රටේ පවතින්නේ නිර්මාණය කරගත් සෞඛ්‍ය අර්බුදයක්. මෙම සෞඛ්‍ය අර්බුදය ඉස්මතු වීමට වසරකට පමණ පෙර සිට අප ඉතා පැහැදිලිව අනතුරු ඇගවීම් කළා. නමුත් එම අවස්ථාවේදී මෙම අර්බුදය හරිහැටි හදුනාගෙන ක්‍රියාත්මක වීමට දේශපාලකයන් හෝ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ නැහැ. අවසානයේදී ඔවුන්ට නාහෙට උඩින් වතුර යනකම්ම මේ ප්‍රශ්නය ගැඹුර තේරුණ නෑ, රටක සෞඛ්‍ය පද්ධතිය කියන්නේ ආර්ථික සංවර්ධනයේ දර්ශකයක්. අවාසනාවට අපේ රටේ පාලකයන් ඒ තත්වය හදුනා ගත්තේ නෑ, අපේ රට ආර්ථික වශයෙන් දියුණු තත්ත්වයක නැතත්, සෞඛ්‍ය දර්ශකවලින් ඉතා ඉහළ අගයක් ගැනීම නිසා ජාත්‍යන්තර වශයෙන් රටේ ප්‍රතිරූපය ඉහළ තැනක තිබුණා. අද වන විට එම පිළිගැනීම බරපතළ අභියෝගයකට ලක්වෙලා.



ග්‍රාමීය ප්‍රජා සෞඛ්‍ය, වතු නාගරික තට්ටු නිවාසවල ජීවත් වන ජනතාවගේ ජනජීවිතය සඳහා අවශ්‍ය කරන එදිනෙදා සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම අද ඉතා දුෂ්කර වී තිබෙනවා.

ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟය මහජනතාවට ඇතිකරන බලපෑම

ඖෂධ හා ශල්‍ය උපකරණ හිගය නිසා බොහෝ රෝගීන්ට ලබාගත යුතු වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාගැනීම දුෂ්කරව පවතිනවා. කාලීන වෛද්‍ය ප්‍රතිකාරලබාගන්නා දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු රෝග, අක්මා රෝග සහ පිළිකා රෝගීන් මින් මහත් පීඩාවට පත්වනවා. අඛණ්ඩව වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු රෝගීන් විසින් කාලසීමාව පුරා වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස ලබා නොගැනීම නිසා, ඔවුන්ගේ රෝගී තත්ත්වයන් උත්සන්න වීම හෝ සංකූලතා ඇතිවීම දැකිය හැකියි. විශමතාවකින් තොරව සෑම රෝගියෙකුටම තමන්ගේ පවතින රෝගී තත්ත්වයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පහසුකම් සලසා දීම රජයක වගකීමක්. දුප්පත්, පොහොසත් භේදය අනුව, කුල භේදය අනුව, සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට සීමාවන් පවතිනවා නම්, එවැනි රටක් ජාත්‍යන්තරය හමුවේ මහත් ලෙස අපකීර්තියට පාත්‍ර වෙනවා.

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ මේ වන විට ශ්‍රී ලංකාව තුළ මහත් ආන්දෝලනයක් නිර්මාණය කර තිබෙනවා.

ඕනෑම රටක ජීවත් වන ජනතාවටගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ලබාදීම රජයක වගකීමක්. නමුත් රට තුළ ඇති ඖෂධ හිගය මත ලියාපදිංචි නොකළ ඖෂධ නිසි තත්ව පරීක්ෂණයන්ගෙන් තොරව රටට ගෙන්වීම සිදුවන බව ඖෂධ නියාමන අධිකාරිය විසින්ම පිළිගෙන තිබීමත්, මේ වන විටත් සිදුවීම් රැසක් වාර්තා වීමත් නිසා අපේ රටේ භාවිතකරන ඇතැම් ඖෂධවල ගුණාත්මකභාවය පිළිබදව මේ වනවිට ප්‍රශ්න පවතිනවා.



ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ, ඖෂධයක තිබිය යුතු රසායනික සංයුතිය වෙනස් වීම, වෙනත් රසායනික අමුද්‍රව්‍ය පැවතීම, සංකූලතා ඇති කළ හැකි අමුද්‍රව්‍ය පැවතීම, අතුරු අමුද්‍රව්‍ය ආදියෙන් දූෂණයට ලක්වී පැවතිය හැකියි. අවාසනාවට මෙන් අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රමිති රසායනාගාර තුළ දැන් මෙවන් තත්ත්ව පරීක්ෂණයන් සිදුනොකිරීම නිසා අප ලබාගන්නා ඖෂධවල ගුණාත්මකභාවය බරපතළ ලෙස අභියෝගයට ලක්වනවා.

අසාධාරණයක් වූ විට රෝගී ජනතාවට යම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ආයතනයක් පවතිනවාද?

ලෝකයේ ඕනෑම දියුණු රටක තමන්ට සිදුවන අසාධාරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සදහා එම රටේ ජාත්‍යන්තර වෛද්‍ය සභා ක්‍රියාත්මක වෙනවා. අප රට තුළදී රෝගී ජනතාවට බොහෝ විට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න වෙන්නේ පොලීසිය හරහා, වැරදි කරන වෛද්‍යවරුන් හෝ සෞඛ්‍ය පරිපාලක බොහෝ නිලධාරීන්ට දඬුවම් හිමිවන අවස්ථා ඉතා දුර්ලභයි. රටක මහජන සෞඛ්‍යය කෙරෙහි විශ්වාසයක් ප්තිත වීමට නම්, නොමිලේ සෞඛ්‍ය ලබාදීමටත්, ජනතාවට තම සෞඛ්‍ය සේවය ප්‍රශ්න කිරීමට හා සැක සහිත අවස්ථාවන් සම්බන්ධව පැමිණිලි කිරීමටත් නිදහස් අවකාශයක් නිර්මාණය විය යුතුයි.

තත්ත්වයෙන් බාල ඖෂධ පිළිබද සංවාදය නිසා නිදහස් සෞඛ්‍යයට අනතුරක් පවතිනවාද?

එවන් කුමන්ත්‍රණයක් පවතිනවා නම් එයට වගකිව යුත්තේ පාලකයන්, රට තුළ සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කළ යුත්තේ ඉතා නම්‍යශීලී ලෙස තම අඩුපාඩු සකස්කොට වුවද, අමාත්‍යවරයාගේ ඇතැම් කටයුතු. නිසා සෞඛ්‍ය අර්බුදය වැඩි වන බව නිරීක්ෂණය වෙනවා. මේ තත්ත්වය වැඩි වර්ධනය වුණොත්, සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමෙන්, මෙරට ජනජීවිතය අවුල් වෙන්න පුළුවන්. ප්‍රභූවරුන්ට වෛද්‍ය ප්‍රතිකාර ගන්න මවුන්ට් එළිසබත් රෝහල තිබුණත්, ගමේ මනුස්සයාට යන්න තියන එකම තැන ගමේ රෝහල වන්ණේය.



වෛද්‍යවරුන්ගේ හිඟය සෞඛ්‍ය පද්ධතියට බාලපාන අයුරු

තමාගේ ජීවන චර්යාවන්හි සමාජ ස්ථාවර බව බිඳවැටීමත් සමග, වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක් රට හැර යාම දැන් සුලබ කරුණක්. විදේශගත වීම දැන් පාලනය කළ නොහැකි තත්ත්වයට පත්වෙලා. මේ නිසා ඉදිරි වසරකිහිපය තුළත් බුද්ධි ගලනය කිහිප ගුණයකින් වැඩි විය හැකියි. අධික බදු බර, ජීවන වියදම ඉහළ යාම, මානසික නිරවුල්භාවය අඩු වීම වැනි කරුණු බොහෝ වෛද්‍ය වෘත්තිකයන් රට හැර යාමට හේතු වෙලා තියෙනවා. බොහෝ විශේෂඥ වෛද්‍යවරු කෙළින්ම ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, කැනඩාව වගේ රටවල්වලට ගොස්, තමන්ගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නැඹුරුවක් දක්වනවා. මේ තත්ත්වය පාලනය කළ හැකි වන්නේ වෘත්තිකයන්ට අනුන්ට අත නොපා ජීවත් විය හැකි සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමෙන් පමණයි.

මන්දපෝෂණ තත්ත්වය

රට තුළ මන්දපෝෂණය වර්ධනය විය හැකියි, බලධාරීන් ඉක්මනින්ම ඒ සම්බන්ධව සමීක්ෂණ සිදුකොට අවධානය යොමු කළ යුතු බවට මා ප්‍රකාශ කරද්දී සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබදව නිසි ලෙස අවධානය යොමු කර ක්‍රියාමාර්ග ගත්තේ නෑ. ඒකෙන් පැහැදිලි වුණේ මන්දපෝෂණය වැනි ඉතා සංවේදී කරුණු ගැන පවා කටයුතු කිරීමට උවමනාවක් සෞඛ්‍ය බලධාරීන්ට තිබුණෙ නෑ කියන එක. පසුගිය සැප්තැම්බර්වලදී මා ඉතා පැහැදිලිව සඳහන් කළේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ යා හැකි බැවින්, අවශ්‍ය පියවර ගත යුතුයි. කියලා. ඒ වෙනුවට ඔවුන් මාව මර්දනය කළා. නමුත් මන්දපෝෂණය නතර වුණේ නැහැ.

සෞඛ්‍ය පද්ධතියේ අර්බුද විසඳීම දූෂිත දේශපාලකයත් බලයේ සිටින විට දූෂිත නිලධාරීන්ට ප්‍රතිලාභ ලැබෙනවා මෙන්ම, දූෂිත නිලධාරීන්ගේ කටයුතු නිසා දූෂිත දේශපාලකයන්ට වාසි සැලසීම සිදුවෙනවා. පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාද, විගණන වාර්තාද පරීක්ෂා කළ හැකි නම්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අතරින් යම් පිරිසකට එල්ලවී ඇති බරපතළ දූෂණ චෝදනා ගැන අවබෝධයක් ලබාගත හැකියි. තනි තනි සිදුවීම් පාලනය කිරීම වෙනුවට සමස්ත සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීමට නම්, සෞඛ්‍ය සේවය නව නායකත්වයක් යටතේ ක්‍රමවේදයක් සකස් වෙන්න ඕන, රටේ සෞඛ්‍ය පද්ධතියේ දරුණු කඩාවැටීම හමුවේ ජනාධිපතිවරයාව පවා සත්‍ය තොරතුරුවලින් දැනුවත් කිරීමට කිසිවෙකු කටයුතු නොකරන බවට දැනගන්නට ලැබෙනවා. අද වන විට රජයේ රෝහල්වලට යාමට බියක් දක්වන දුප්පත් ජනතාව තම කණ කර ඉඩම් හා දේපළද, යාන වාහන උගස්කොට හෝ විකුණා පෞද්ගලික රෝහල්වලින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න යන තත්ත්වයට පත්වෙලාතියෙන්නේ. මේ තත්ත්වය කඩිනමින් වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතුයි.

ඉන්දික හේවාවිතාරණ