hettipola-incident

මාස 4ක් වයසැති තම සිගිති දියණියට හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් එන්නතක් ලබාදීමෙන් පසු, රෝගාතුරව, මියගිය බව සඳහන් කරමින්, එම සිගිත්තියගේ පියා වන හර්ෂණ ප්‍රදීප් රත්නායක නමැත්තකු පෙරේරා (16) පැමිණිල්ලක් කළේ යැයි කුලියාපිටිය මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, කුලියාපිටිය, ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචි වික්‍රම ආරච්චිලාගේ නිම්නාදි සේනානායක නමැති සිගිත්තියකි.

හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් මාස හතරකින් ලබා දෙන එන්නත දියණියට පසුගිය 15 වැනිදා ලබාදීමෙන් පසු නිවෙසට පැමිණි බව පැමිණිලිකරු පවසන්නේ යැයි පොලීසිය සඳහන් කරයි.

දරුවා එදින කිසිම අපහසුතාවකින් තොරව සිටි බවත්, පසු දින එනම් 16 වැනිදා අලුයම 4.30ට පමණ ඇයගේ කටින් සෙම වැගිරීමට පටන්ගෙන, හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළුණු බවත්, ඇය ඒ මොහොතේම කුලියාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ආ බවත්, දැරියගේ පියා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති. කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා, සිගිති දියණිය මිය ගොස් ඇති බව දැනුම් දුන්නේ යැයි පැමිණිලිකරු පොලීසියට පවසා ඇත.


මියගිය සිඟිති දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ගෙන ගොස් තිබේ. මේ අතර, තම දියණිය නිරෝගීව සිටි බවත්, දන්නා තරමින් කිසිදු රෝගයක් ඇයට නොතිබූ බවත්. සිගිත්තියගේ පියා  පැවැසීය. දැරියට හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී ඉකුත් 15 වැනිදා මාස හතරේ එන්නත ලබාදුන් බව ද ඔහු කීවේය. හෙදියක විසින් එන්නත දෙනු ලැබීමෙන් පසු විනාඩි විස්සක් යනතුරු එම ස්ථානයේ ගත කරන ලෙස දැනුම් දුන් බවත්, රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ නිසා බිරිඳ දැරිය සමග නිවෙසට පැමිණි බවත් පියා සඳහන් කළේය. සිඟිති දියණියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඔහු ඉල්ලීමක් කළේය.



මේ අතර, මියගිය මෙම මාස හතරක් වයසැති සිඟිත්තිය ඇතුළු දරුවන් දස දෙනකුට එකම එන්නත් කුප්පියකින් පසුගිය පහළොස් වැනිදා එන්නත් ලබා දුන් බවත්, එහෙත්, ඔවුනට කිසිදු සංකූලතාවක් හෝ රෝග ලක්ෂණයක් පහළ වී නොමැති බවත්, හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය. කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමේදී ඇය මෙසේ කීවාය.

“ඔය කියන දිනයේ මෙම දරුවාට එන්නතක් හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ලබා දුන් බව සත්‍යයි. එන්නත නිසා දරුවාගේ මරණය සිදු වූ බව කිව නොහැකියි. මරණයට හේතු හොයා ගැනීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරනු ලබනවා. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නිම වීමෙන් පසු මරණයට නිශ්චිත හේතුවක් කිව හැකියි.” මරණයට හේතු හොයා ගැනීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරනු ලබනවා.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය