hong-kong-job-visa

පස්යාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඇතුළු පුද්ගලයන් දසදෙනෙකුට හොංකොංහි රැකියා ලබා දෙන බව පවසා ඔවුන්ගෙන් එක්කෝටි දහඅට ලක්ෂ පනස්දහසක මුදලක් ලබා ගෙන ඔවුන් දසදෙනා ඉන්දියාවට රැගෙන ගොස් අතරමං කර ලංකාවට පැනවිත් සිටි පුද්ගලයන් තිදෙනෙකු පෙරේදා (22දා) අත්අඩංගුවට ගත් බව

ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි. හෝකන්දර,

පස්යාල නාඹුළුව හා නාංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති. නිට්ටඹුව පොලිස් වසමට අයත් පස්යාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට හොංකොංහි රැකියාවක් ලබා දෙන බව පවසා ඔහුගෙන් රුපියල් එකොළොස්ස් ලක්ෂ අසූපන් දහසක මුදලක් රැගෙන එම පුද්ගලයා ඉන්දියාවට කැඳවා ගෙන ගොස් අතරමං කර පැමිණි බවට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලීසිය කීය.

මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වීමේදී මොහු ඇතුළු පුද්ගලයන් දසදෙනෙකුගෙන්, එක් අයෙකුගෙන් රුපියල් එකොළොස් ලක්ෂ අසූපන් දහස බැගින් දසදෙනාගෙන් එක් කෝටි දහඅට ලක්ෂ පනස්දහසක මුදලක් රැගෙන ඔවුන් දස දෙනාම ඉන්දියාවට කැඳවා ගෙන ගොස් අතරමං කර පැමිණ ඇති බවට හෙළි වී ඇත. එසේ ඉන්දියාවට කැඳවා ගෙන ගොස් අතරමං කර ඇති අනෙක් පුද්ගලයන් නම දෙනා කෑගල්ල, මාතලේ හා වවුනියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට වැඩිදුරටත් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මේ සම්බන්ධ තවත් ප්‍රධාන පුද්ගලයන් දෙදෙනෙකු සැගවී සිටින බවද පොලීසිය සඳහන්

කළේය. ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සැරයන්වරුන්වන ගුණරත්න, රුද්‍රිගු ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

 වාරණ ආනන්ද ඉ ජයකොඩි