horana-baby-incident

හොරණ ගල්ඒදඬුගොඩ ප්‍රදේශයේ නිවෙසකට පැමිණි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු දස හැවිරිදි දරුවකුට බාරදී ගිය සිවු මස් බිලිඳා අධිකරණ නියෝග මත බිලිඳාගේ මවට ඊයේ (12) බාරදුන් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

එලෙස දස හැවිරිදි දරුවාට බිලිඳා බාරදී ගොස් ඇත්තේ බිලිඳාගේ පියා බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

තම පුතු නිවෙසේ තනිවම සිටි අවස්ථාවේදී කුඩා දරුවකු රැගෙන පැමිණි පුද්ගලයකු ඔහු ඉක්මනට පැමිණෙන බවට පවසා තම පුතු වෙත කුඩා බිලිඳකු ලබාදී පිටව ගොස් ඇතැයි ද පැය දෙකකට අධික කාලයක් ගත වුවද එම පුද්ගලයා පැමිණ නැතැයි පවසමින් කාන්තාවක හොරණ මූලස්ථාන පොලිසිය වෙත කරන ලද දැනුම් දීමක් අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් බිලිඳා පොලිස් භාරයට ගෙන හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.



හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්. පනාවල මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි එල්.ඩී. ලියනගේ මහත්මිය ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව දැරියගේ මිත්තනිය වශයෙන් හඳුන්වා දුන් කාන්තාවකගෙන් තොරතුරු ලබාගෙන දැරියගේ මව සොයා ගැනීමට කටයුතු කිරීමෙන් අනතුරුව ඇය හඬා වැටෙමින් හොරණ මූලික රෝහල වෙත පැමිණ සිය බිලිඳා හඳුනාගත් බව පොලිස් නිලධාරිනියක් පැවැසුවාය.

රෝහලේ අංක එක වාට්ටුවේ රඳවා සිටි බිලිඳා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තා ලබාගත් පොලිසිය, මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව බිලිඳා මවට භාරදීමට අධිකරණයෙන් නියෝග කළ බව එම නිලධාරිනිය වැඩිදුරටත් පැවැසුවාය.

බිලිඳාගේ පියා නැන්දනියට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇති බැවින් ඔහු පොලිසියෙන් වසන්වීම සඳහා බිලිඳා මේ ආකාරයෙන් තබා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.



පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්. පනාවල මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක ලියනගේ, පොලිස් කොස්තාපල් (15447) ශ්‍රියන්ත මහත්වරු පරීක්ෂණ පවත්වති.

 බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ

සිද්ධියට අදාළ පෙර විස්තරය
ගෙදර තනියම සිටි දරුවාට කවුදෝ බිලිඳකු බාරදී ගිහින්