horana-incident

හොරණ ගල්එදඩුගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ (11) සවස පැමිණි මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයකු සිවු මසක කුඩා බිලිදකු එහි සිටි දස හැවිරිදි දරුවකුට බාරදී පලාගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය කියයි.  තම පුතු නිවසේ තනිවම සිටි අවස්ථාවේ දී කුඩා බිලිඳකු රැගෙන පැමිණි පුද්ගලයකු ඔහු ඉක්මනට පැමිණෙන බවට පවසා බිලිඳා තම පුතුට ලබාදී පිටව ගොස් ඇතැයි ද පැය දෙකකට අධික කාලයක් ගත වුවද එම පුද්ගලයා පැමිණ නැතැයි ද පවසමින් කාන්තාවක හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හමුවී ඊයේ (11) සවස පවසා ඇති බව පොලිසිය සඳහන් කරයි.



වහා ක්‍රියාත්මක වූ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එල්.ඩී. ලියනගේ මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් නිවසට පිටත් කර යවා බිලිඳා පොලිසියට රැගෙන ඒමට කටයුතු කළ බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය. බිලිඳා දමා ගිය පුද්ගලයා සම්බන්ධයෙන්  තොරතුරු සෙවීමේ දී එම පුද්ගලයාගේ මිත්තණිය ඊට මඳක් ඈතින් පිහිටි නිවසක වෙසෙන බව ද අනාවරණ වූ බව පොලිසිය කියයි.

ඒ අනුව මිත්තණිය පොලීසියට කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේ දී මෙම දරුවා තම දියණියගේ පුතාගේ පුතා බවට සැක කරන බවත් නමුත් කිසිම දවසක දරුවා දැක නොතිබූ බවත් මිත්තණිය පවසා ඇත. ඔවුන් අඟුරුවාතොට නාර්තුපාන ප්‍රදේශයේ පදිංචිව සිටින බවද ඇය පොලිසියට ප්‍රකාශයක් දෙමින් පවසා ඇතැයි පොලිසිය කියයි.

දරුවාගේ මව හොරණ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන්නියක බවට ද තොරතුරු අනාවරණය වූ බවත් ඇය සොයා ගැනීමට ද පොලිසිය කටයුතු කරමින් සිටින බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

හොඳින් වැඩී තිබූ බිලිඳා ඒ මොහොතේම හොරණ මූලික රෝහලට යොමු කිරීමට පියවර ගත් බව එම පොලිස් නිලධාරිනිය පැවසුවාය. බිලිඳා දස හැවිරිදි දරුවා භාරයේ තබා පලාගිය පුද්ගලයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවට තොරතුරු ලැබී ඇතැයි පවසන පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා පරීක්ෂණ ආරම්භ කළ බව සඳහන් කරයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ