human-skeliton-mulathiwu

මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජලනළ එළමින් සිටි සේවකයන් පිරිසකට එහි වළදමා තිබූ මිනිස් අස්ථි කොටස් සහ නිලඇඳුම් කොටස් කිහිපයක් පෙරේදා (29) හමු වී ඇතැයි රකිලායි පොලීසිය පවසයි.
ජල නළ එළමින් සිටි සේවකයන් පිරිසක් පස්කපන යන්ත්‍ර ආධාරයෙන් පොළොව හාරමින් සිටියදී මිනිස් අස්ථි බවට සැක කෙරෙන කොටස් කිහිපයක් හමුවී ඇති අතර
පසුව ඒ පිළිබඳව කෝකිලායි පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් කළ පරික්ෂාවකදී පොළොව යට තිබූ තවත් අස්ථි කොටස් කිහිපයක් සහ යුද සමයේදී භාවිත කරන ලද කාන්තා නිලඇඳුම් කොටස් කිහිපයක්ද හමු වී ඇත.
එම නිල ඇඳුම් ආරක්ෂක අංශවලද නැතිනම් කොටි සංවිධානයේද යන්න පිළිබඳව නිශ්චිතවම අනාවරණය වී නොමැති බවද පොලීසිය පවසයි.
මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරින්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් හා කෝකිලායි පොලීසියද එම ස්ථානයේ වැඩිදුර කැණීම් සිදුකිරීමට පියවර ගෙන ඇත.
යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ මියගිය කොටි සාමාජිකාවකගේ මළ සිරුරක් එම සංවිධානය විසින් මෙලෙස වළදමා පලා යන්නට ඇතැයි ආරක්ෂක අංශ සැක පළ කර සිටී.

වන්නි රොමේෂ් මධුෂංඛ