ja-ela-incident

ජා-ඇල නගරයේ කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ පිහිටි රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී නීති විරෝධී ලෙස අලෙවි කිරීමට තැත් කළ දුර් ලභ ගණයේ වාලම්පුරියක් සමග එකම පවුලේ මව, පුතා සහ ලේලිය සමග තවත් තැරැව්කරුවන් තිදෙනෙකු ඊයේ (13දා) සවස අත්අඩංගුවට ගත් බව ජා-ඇල පොලීසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇති වාලම්පුරියේ වටිනාකම රුපියල් ලක්ෂ 560ක් පමණ වන බවද පැවසේ.



සැකකරුවන් සමග මොන්ටෙරෝ වර් ගයේ සුපිරි ජීප් රියක් සහ යතුරු පැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත. සැකපිට අඩංගුවට ගෙන ඇති මව, පුතා සහ ලේලිය එම ජීප් රථයේ පැමිණ ඇති බවත්, තවත් සැකකරුවන් තිදෙනෙකු යතුරු පැදි දෙකකින් පැමිණ ඇති බවත් පොලීසිය සඳහන් කරයි. කොට්ඨාස බුද්ධි අංශයට සහ පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණ තොරතුරක් අනුව ව්‍යාපාරිකයකු ලෙස වෙස් ගත් පොලිස් උපාය දූතයකු යොදවා වැටලීම සිදුකොට වාලම්පුරිය සහ සැකකරුවන්අත් අඩංගුවට ගෙන ඇත. 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ අංක 29 වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීම සිදු කළ බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරින් වාලම්පුරිය හිමි බව කියන 57 හැවිරිදි කාන්තාව පොලීසියට කට උත්තරයක් ලබා දෙමින්, මෙම වාලම්පුරිය අපවත් වී වදාළ හිමිනමක් විසින් තම ස්වාමිපුරුෂයාට ලබා දුන් එකක් බවත්, තම පවුල මුහුණපා ඇති හදිසි මුදල් අවශ්‍යතාවක් නිසා තැරැව්කරයන් මාර්ගයෙන් එය විකිණීමට තම පුතා සහ ලේලිය සමග එක්ව ගනු දෙනුව සිදුකිරීම සඳහා ගැනුම්කරු පවසා තිබූ ජා- ඇල අදාළ ස්ථානයට පැමිණි බවත් සඳහන් කරන බව පොලීසිය පවසයි.



අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කිරිඳිවැල, තිහාරිය, අංගොඩ සහ මරදාන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26 -57 යන වයස් සීමාවේ පසුවන අය වෙත්. දෙදෙනෙක් කාන්තාවෝය. සැකකරුවන් සහ භාණ්ඩ ඊයේ (13දා) වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.එස්.වයි.බී.ක්‍රිශාන්ත මහතාගේ උපදෙස් මත කැලණි දිස්ත්‍රික්  සහකාර පොලිස් අධිකාරී ධනංජය පෙරමුණ මහතාගේ අධික්ෂණය යටතේ ජා-ඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, උපපොලිස් පරීක්ෂක පෙරේරා, කාන්තා උපපොලිස් පරීක්ෂක උත්පලා, ඇතුළු නිලධාරීන් විසින් වැටලීම සිදුකොට සැකකරුවන් සහ භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.

ජාඇල - තිස්ස කොටින්කඩුව