japan-woman-incident

 බම්බලපිටිය ප්‍රදේශයේදී ජපන් ජාතික කාන්තාවකට අස්වාභාවික ක්‍රියාවක් සිදු කළේ යැයි කියන පුද්ගලයකු සම්බන්ධයෙන් එම කාන්තාව ඒ අසල රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයකුට දැනුම්දීමක් කළ ද, ඔහු එය නොසලකා හැර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.





මහජන ආරක්ෂක අමාත්‍යාංශය මේ  සම්බන්ධයෙන්  බම්බලපිටිය පොලීසියට කළ දැනුම්දීමක් අනුව, එම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ජපන් ජාතික කාන්තාව බම්බලපිටියේ නිමි ඇඳුම් අලෙවිසලක් අසලින් ගමන් කරමින් සිටියදී පුද්ගලයකු පැමිණ තමාට අස්වාභාවික ක්‍රියාවක් සිදු කර පලා ගිය බව කියමින් ඇය ඒ අසල රාජකාරියේ නිරත කොස්තාපල්වරයකුට දැනුම්දී ඇති අතර, කොස්තාපල්වරයා එය නොසලකා හැර ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

එම කාන්තාව මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැනුම්දීමක් කර ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය