kahatagasdigiliya-incident

දියණිය අපයෝජනය කිරීමට විරුද්ධ වූ තම පුතු ඝාතනය කර වගා ළිඳකට දැමූ බව කියන පියෙකු හෙට 27වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කහටගස්දිගිලිය මහේස්ත්‍රාත්වරයා ඊයේ (25දා) නියෝග කළේය.



කහටගස්දිගිලිය, දිවුල්ලෑව, කුඩාපට්ටිය පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අමිල ප්‍රියන්ත (30) නමැත්තෙකු මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබිණි.



2022 වර්ෂයේ සැප්තැම්බර් මස 03වැනිදා දිවුල්ලෑව, කුඩාපට්ටිය ප්‍රදේශයේදී මෙම ඝාතනය ඝාතකයා විසින් සිදු කර තිබුණි. එම ප්‍රදේශයේ පැවැති බණ පින්කම් මාලාවකට සහභාගි වෙමින් අනතුරුව නිවසට පැමිණෙමින් සිටි තරුණයා සැකකාර පියා විසින් කිහිප වතාවක්ම ඝාතනය කිරීමට උත්සාහ දරා අනතුරුව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළිව ඇත.

සැකකරු විසින් සිය දියණිය අපයෝජනය කිරීමට විරෝධය පළ කිරීම නිසා මෙම ඝාතනය සිදු කර ඇති බවට අනාවරණය වී තිබේ.

මොහු විසින් සිය පුතා ඝාතනය කිරීමෙන් පසු පාලු වගා ළිඳකට දමා තිබියදී 2022 සැප්තැම්බර් 05වැනිදා එම සිරුර පොලීසියට හමු වී ඇත. අනතුරුව සිදු කළ විමර්ශනවලින් නිසි තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකිව තිබිණි.

මේ අතර කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පො.ප. බී.එස්. චන්ද්‍රසිරි මහතා ප්‍රමුඛ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.



එම විමර්ශන අනුව මෙම ඝාතකයා මියගිය තරුණයාගේ සහ අපයෝජනයට ලක් වූ දියණියගේ පියා බවට තොරතුරු අනාවරණය වී ඇත.

කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

හොරොව්පතාන - සිඩ්නි රුවන් උබේපාලඋතුරු මැද