kalutara-sea-incident

කළුතර උතුර වස්කඩුව මුහුදේ ඊයේ (23දා) දහවල් දියනාමින් සිටියදී මුහුදේ ගසාගෙන ගිය රුසියන් යුවළක් බේරාගැනීමට ගිය හෝටල් ජීවිත ආරක්ෂක නිලධාරියෙකු මුහුදේ ගිලී මියගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය සඳහන් කරයි.

කළුතර උතුර සුමංගල පාරේ පදිංචිව සිටී ජී.ධනුෂ්ක ප්‍රියදර්ශන පෙරේරා (36) නමැති දෙදරු පියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කරයි.



මේ අතර මුහුදේ ගසා ගෙන ගිය රුසියත් යුවළක ඇතුළු සිවුදෙනෙකු බේරාගැනීමට ප්‍රදේශයේ තරුණ පිරිසක් සමත්ව ඇති බවද පොලීසිය පවසයි. මියගොස් ඇති තැනැත්තා වස්කඩුව මර්මේඩේ සංචාරක හෝටලයේ ජීවිත ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කරන බවද සදහන්වේ. ඊයේ (23දා) දහවල් රුසියන් යුවළක් මුහුදේ දියනාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, එහිදී කාන්තාව උදවු ඉල්ලා කෑ ගසා ඇති බව අවට සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ. එහිදී මියගොස් ඇති තැනැත්තා එක්වරම මුහුදට පැන පිහිනා යමින් සිටියදී ඔහුද සැඩ රළ පහරට හසුව ගසාගෙන ගොස්තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ හෝටලයේ තවත් සේවකයන් දෙදෙනෙකුද මුහුදට පැන ඔවුන්දෙදෙනාද රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, අවට සිටි තරුණයන් සිවුදෙනෙකු සහ තවත් හෝටලයේ සේවකයන් දෙදෙනෙකු එක්ව ජීවිත ආරක්ෂක නිලධාරීන් භාවිත කරන ලෝන්ග් එකක් සහ කඹයක් ආධාරයෙන් රුසියානු යුවළ, හෝටලයේ සේවකයන් දෙදෙනා සහ මියගොස් ඇති තැනැත්තා ගොඩගෙන ඇති බව බේරාගැනීමට එක්වූ තරුණයෝ පැවසූහ.

මුහුදු රළ සැර වුවද ජීවිත ආරක්ෂක උපකරණ කිසිවක් හෝටලයෙත් සපයා නොමැති බවද ජීවිත බේරගැනීමට එක් තරුණයෝ පැවසූහ. කළුතර උතුර පොලීසියේ විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රුවන්පුර ඉන්ද්‍රජිත්  ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

 කලුතර සුනිල් එස් තන්ත්‍රිආරච්චි/ පානදුර - සුමිත් පොතුපිටිය