කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ (BIA) ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරීන් විසින් තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක නීතිවිරෝධී ලෙස රැගෙන යාමට තැත් කළ රුපියල් මිලියන 100 ක් වටිනා කිලෝ 05 ක් බරැති රන් ජෙල් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.


24 හැවිරිදි මෙම කාන්තාව අද උදෑසන ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පිටව යමින් සිටියදී ඇයගේ යට ඇඳුමේ තිබුණ පාර්සල් හතරක නීති විරෝධී රත්‍රං ජෙල් සඟවාගෙන සිටි අතර, ඇයගේ හැසිරීම ගැන CCTV කැමරා ඇසුරින් මතුවූ සැකසහිත නිරීක්ෂණය නිසා ආරක්ෂකයින් ඇයව පරීක්ෂා කර තිබුණි.



මෙම තරුණිය කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ රූපලාවන්‍ය භාණ්ඩඅලෙවි කරන සාප්පුවක සේවිකාවක් වූ අතර තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ කලක් තිස්සේ සේවය කරන ඇය මෙවැනි වංචාවන් මින් ඉහත සිදු කර ඇතිද යන්න ගැන සැකයක් මත ප්‍රශ්න කිරීමට ලක් කරන බවද ආරංචි මාර්ග සඳහන්කරයි.

ඇය කිලෝ ග්‍රෑම් 05 කට අධික බරකින් යුතු රත්තරන් ජෙල් අඩංගු පාර්සල් 04 ක් සිය සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් අද (4) දින උදෑසන 08.45 ට පමණ  පිටතට යමින් සිටියදී ,

ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් පිරිස කැමරා පද්ධතියෙන් නිරීක්ෂණය කිරීමේදී සිරුරේ යට කොටස බරක් ඇදගෙන යන ආකාරයට අපහසුතාවයකින් ගමන් කරන අයුරු නිරීක්ෂණය විය. පසුව කළ සෝදිසියෙන් අනතුරුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම කාන්තාව සහ නීතිවිරෝධී භාණ්ඩ තොගය සමග ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාරදී තිබෙයි.