ketagoda-2-3

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉදිරිපත් කර ඇති මහ නගර සභා සහ පළාත් පාලන ආයතන සංශෝධිත පනත් කෙටුම්පතේ වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බැවින්, එය විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් අනුමත කරන ලෙස ඉල්ලා සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (24) දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය මේ බව දැනුම් දුන්නේ, මෙම පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් 27 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනිණි. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සමාජය හා සාමයික කේන්ද්‍රයේ රෝහණ සිල්වා පියතුමා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු 27 දෙනකු විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය මෙසේ පැවැසුවාය.

“මෙම පනත් කෙටුම්පත මගින් සිදු කරනු ලබන්නේ ජේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටීම වැනි දෙයක්. මෙම පනත් කෙටුම්පතෙහි 10 වැනි වගන්තියෙන්, විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතනවල නියෝජිතයන් යළි කැඳවීමේ බලය විෂයය භාර අමාත්‍යවරයාට ලබා දෙනවා. මෙමගින් ජනතාවගේ පරමාධිපත්‍යය උල්ලංඝනය වෙනවා. ජනතාවගේ සර්ව ජන ඡන්ද අයිතිය අහිමි වෙනවා. නව පළාත් පාලන නියෝජිතයන් තෝරා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි වෙනවා. මෙම පනත් කෙටුම්පතෙහි වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 10(1), 12(1), 14 වගන්ති උල්ලංඝනය වෙනවා. එබැවින්, මෙම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් අනුමත කිරීමට නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා." වැඩිදුර විභාගය පැවැත්වේ.


විමුක්ති එස්. රුද්‍රිගු