kelani-river-missing

පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස්, කිරුළපන නිවෙසක රඳවා තබා මරණීය තර්ජනය කර රුපියල් කෝටියකට ආසන්න මුදලක් කොල්ලකෑ බව කියන කණ්ඩායමක දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි. රුපියල් ලක්ෂ 87ක් සහ ඇමෙරිකානු ඩොලර් 3000ක මුදලක් කොල්ලකනු ලැබ තිබිණි.

පිරමීඩ මූල්‍ය ගනු දෙනුවල යෙදෙන පුද්ගලයන් දෙදෙනකු කොහුවල දුටුගැමුණු වීදිය සුපිරි වෙළෙඳසලකට ගොස් සිය මෝටර් රථය වෙත පැමිණෙමින් සිටියදී සුඛෝපභෝගී වාහන තුනකින් පැමිණි හය දෙනකුගෙන් යුත් කල්ලියක් එම පුද්ගලයන් දෙදෙනා පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.



අනතුරුව එම පුද්ගලයන් දෙදෙනා කිරුළපන ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් එහි සිරකර මුදල් ඉල්ලා ඇති අතර ඔවුන් පැමිණි වාහනයේ මුදල් තිබෙන බව පැවැසීමෙන් අනතුරුව  කොල්ලකරුවන් ඔවුන් දෙදෙනා එම ස්ථානයට රැගෙනවිත් මුදල් කොල්ලකා පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. කොල්ලකරුවන් බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයකින්, කේ.ඩී.එච්. වෑන් රථයකින් සහ වැගන් ආර් වෑන් රථයකින් පැමිණ ඇති බව කොල්ලකෑමට ලක් වූ පුද්ගලයන් දෙදෙනා කළ පැමිණිලිවල සඳහන් වේ. තමන් වාහන දෙකක් විකුණා ලබාගත් මුදල් කොල්ලකෑ බවට ඔවුන් දෙදෙනා පොලිසියට පැමිණිලි කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පැමිණිලිකරුවන් මාතර සහ අඟුණුකොළපැලැස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

කොල්ලකෑමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට අමතරව තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකරුවන්  නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
  බිමල් ශ්‍යාමන් ජයසිංහ