kudu-salindu-cid

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  භාරයේ රැදවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සලිඳු වල්ලික ගුණරත්න නොහොත් පානදුරේ කුඩු සලිඳු යන අයගෙන් රුපියල් කෝටි 13ක අල්ලස් මුදලක් ඉල්ලූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන  ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර ඇත. නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “පානදුරේ කුඩු සළිඳු' යන දෙදෙනා නිරීක්ෂණය කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා (26) ගිය අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය වී ඇති අතර පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.



මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඉකුත්  පෙබරවාරි මස 15 වැනිදා මෙරටට රැගෙන ආ මෙම සැකකරුවන් දෙදෙනා ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් නියෝග මත දින 90ක කාලයත් තම දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. මෙම සැකකරුවන් මෙරටට රැගෙන ඒමේ දී කලහකාරී ලෙස හැසිරි ඇති බවත් මේ හේතුවෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව සඳහා  රැඳවුම් නියෝග මත දැඩි ආරක්ෂිතව රඳවා තබා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු  වාර්තා කර තිබිණි.



ඒ අනුව සැකකරුවන් දෙදෙනා නිරීක්ෂණය කිරීම සඳහා තම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා ඉකුත් මැයි 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන සැකකරුවන් දෙදෙනා මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඉකුත් ජනවාරි මස 01 වැනිදාය.
නිමන්ති රණසිංහ