laptop-theft-colpity

මෙරටට ලැප්ටොප් පරිගණන ගෙන්වා ඛෙදාහැරීමේ සමාගමකට අයත් කොල්ලුපිටියේ ප්‍රදර්ශනාගාරයකට රාත්‍රී කාලයේදී හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ නවයකට ආසන්න ලැප්ටොප් පරිගණක සොරාගත් බව කියන වැඩ තහනමට ලක් වූ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
සැකකරු සොරාගෙන තිබූ ලැප්ටොප් පරිගණක තුනක් ද පොලිස් බාරයට ගෙන ඇත. සැකකරු 2016 වසරේදී අගුලාන පොලීසියේ සේවය කරමින් සිටියදී විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් වැඩ තහනමට ලක්වූ පොලිස් සැරයන්වරයෙකි.
සැකකරු අලුයම 03:30ට පමණ සමාගමේ පිටුපස තාප්පය ආධාරයෙන් කවුළුවක් හරහා
සමාගම ඇතුළට පැමිණ සොරකම සිදුකර තිබූ බව පොලිසිය කියයි.


එම සමාගමේ ආරක්ෂාව භාරව ආරක්ෂක නිලධාරියකු සිටිය ද සැකකරු උපක්‍රමශීලීව ඔහු නින්දට ගිය අතරවාරයේ දී මෙම සොරකම සිදුකර තිබිණි.
සමාගමේ සවිකර තිබූ සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එම දර්ශනවල සිටින පුද්ගලයා මීට මාස කීපයකට ඉහතදී ඒ ආසන්නයේ ස්ථානයක ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ පුද්ගලයා බවට හඳුනාගෙන තිබූ බව පොලිසිය කියයි.
ඔහු ඒ වන විට එම ආරක්ෂක නිලධාරි තනතුරෙන් ද ඉවත් ව ගොස් තිබූ බවට පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.


සැකකරු සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනවලදී දෙනියාය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේ දී ඔහුගේ නිවසේ තිබී සොරාගත් ලැප්ටොප් පරිගණක දෙකක් ද අනෙක් ලැප්ටොප් පරිගණක මාගාල්ල ප්‍රදේශයේ භාණ්ඩ උකස් ගන්නා ස්ථානයකට රුපියල් 25,000 ක මුදලකට උකස් කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

- ඛණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ