malwana-house-fire

මීට පෙර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සම්බන්ධ බව කියූ මල්වාන මන්දිරය මේ වන විට රජය සතු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැහැදිලි කර තිබේ.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ මතභේදයට තුඩු දී ඇති මල්වාන මන්දිරය සම්බන්ධයෙන්  අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

අධිකරණ අමාත්‍යවරයා හෙළි කළේ 2022 වසරේ පැවති ‘අරගලය’ විරෝධතාවලදී මෙම මන්දිරය රජයට අයත් එකක් බව නොදැන ගිනි තබා ඇති බවයි.



මෙම මන්දිරය අධිකරණ අමාත්‍යාංශයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් අධිකරණ අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

“මල්වාන දේපළවලට කිසිම පාර්ශ්වයක් හිමිකම් නොකියන බව පුවත්පත් හරහා දැනගත් විට මම එය අධිකරණ අමාත්‍යාංශයට පවරා ගැනීමට පසුදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ක්‍රියාවලිය සෙමින් ඉදිරියට ගමන් කරයි. එය අධිකරණ අමාත්‍යාංශයට පවරා ගැනීමට නියමිතයි. අවාසනාවකට අරගලය ක්‍රියාකාරීන් එයට ගිනි තැබුවේ එය දැන් රාජ්‍ය දේපලක් බව නොදැන විය හැකියි,” ඔහු පැවසීය.