marawila-incident

අවුරුදු පහළොවක් පමණ වයස පාසල් සිසුවකු වසරකට ආසන්න කාලයක් තිස්සේ සිට වරින් වර ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන මාරවිල පොලිස් වසමේ කතෝලික දේවස්ථානයක මීසම බාර පියතුමකු අත්අඩංගුවට ගැනීමට මාරවිල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි. අත්අඩංගුවට ගැනීමට සොයන සැකකාර පියතුමා සැඟව සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. සැකකාර පියතුමා රටින් පලා යෑමට උත්සාහයක් ඇති බවට පොලිසිය තොරතුරු ලැබී ඇතැයි ද කියති.



අධිකරණය මෙම සිද්ධියට අදාළ තොරතුරු වාර්තාවක් ඉදිරිපත්කර සැකකාර පියතුමා රටින් පලා යෑමට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසිය නියෝගයක්  ලබාගෙන ඇති අතර එය ආගමන විගමන පාලකවරයා මගින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ බලධාරීන්ට දැනුම් දී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. බරපතළ ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන බාල වයස්කාර සිසුවාගේ මවුපියන්ට මේ බව දැන ගැනීමට ලැබීමෙන් පසු දරුවා ද කැටිව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා හමුවට ගොස් පැමිණිලි කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

පොලිස්පතිවරයාගේ නියමයෙන් මාරවිල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.

හොඳ අධ්‍යාපනයක් ලබා දෙන බව කියා දරුවා දේවස්ථානයට ගෙන්වා ගෙන 2021 වසරේ සිට මෙම වසර දක්වා වරින්වර බරපතළ ලිංගික අපයෝජනයන්ට ලක්කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. සිද්ධියට අදාළව සිසුවාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත් අවස්ථාවේ ඔහු මෙම තොරතුරු හෙළි කළේ යැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. බරපතළ ලිංගික අපයෝජනයට ලක් වූ බව පැවසෙන සිසුවා අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු හමුවට ඉදිරිපත් කර  වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය කටයුතු යොදාගෙන යයි. මාරවිල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.