meegoda-incident

මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පදිකයන් දෙදෙනකුගේ හා කැබ් රථයක, ත්‍රිරෝද රථයක පෙරේදා 26 වැනිදා රාත්‍රී 10 ට පමණ ගැටීමෙන් එකොළොස් හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තවත් දෙදෙනකු ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මිගොඩ පොලීසිය පවසයි. මිය ගොස් ඇත්තේ මීගොඩ, හෙට්ටියාවත්තේ, විනිදු සත්සර නමැති එකොළොස් හැවිරිදි පාසල් සිසුවකු බව පොලීසිය කියයි. හයිලෙවල් මාර්ගය ඔස්සේ අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට බීමත් රියැදුරකු පැද වූ බව කියන මෝටර් රථයක් මිගොඩ 20 කණුව ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් මවක (57) සහ ඇයගේ පුත්‍රයකුගේ (18) සිරුරේ ගැටී අනතුරක් සිදුව තිබූ බව මූලික පරීක්ෂණවලදී හෙළි වී යැයි පොලිසිය සඳහන් කරයි.  



අනතුරෙන් පසුව මෝටර් රථය නොනවත්වා මීටර් 500 පමණ ඉදිරියට ධාවනය කරද්දී කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක ගැටී ඒ  අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක ගැටී අනතුරු දෙකක් සිදුව ඇතැයි පොලිසිය කියයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු හා ඔහුගේ පුත්‍රයා සහ තවත් පුද්ගලයකු ප්‍රතිකාර සඳහා කඩිනමින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එකොළොස් හැවිරිදි පාසල් සිසුවා මියගොස් ඇති බව පොලිසිය පවසයි. සිද්ධියෙන් අනතුර සිදු කළ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බිමතින් සිට ඇති බවට අනාවරණය වී තිබේ.



අනතුරින් ත්‍රිරෝද රථයට හා මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති අතර ප්‍රතිකාර ලබන  අනිත් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය කියයි . අනතුරට හේතුව නොසැලකිලිමත් 7 අපරික්ෂාකාරී රිය ධාවනය බව පොලීසිය කියයි. මියගිය පාසල් සිසුවාගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබුණි . අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න