moragahahena-incident

මොරගහහේන තලගල වෙන්දේසි ඉඩමක සේවක පිරිසක් එක්ව පෙරේදා (12) රාත්‍රී පැවැත් වූ මත්පැන් සාදයකින් අනතුරුව පිහි ඇනුමකට ලක් වූ පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි   මොරගහහේන පොලිසිය කියයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ මාබෝදල ඉද්දවත්ත පදිංචිව සිටිස්කැවේටර් රියැදුරකු ලෙස සේවය කළ තිස්නව හැවිරිදි පී. නිරෝෂන් චන්දිම නමැති එක් දරු පියෙකි. ඝාතනය සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදා භටයකු ඝාතනයට යොදාගත් පිහියක් ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

වසර හතරකට අධික කාලයක් වෙන්දේසි ඉඩමේ ස්කැවේටර් රියදුරකු ලෙස කටයුතු කර ඇති ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ වැඩ අවසන් බැවින් ඔහු වෙනුවෙන් අනෙක්  සේවකයන් පිරිස මත්පැන් සාදයක් සංවිධානය කර තිබී ඇති අතර ඊට සහභාගිවීමට ඔහු නිවසේ සිට වෙන්දේසි ඉඩමට පෙරේදා (12) පැමිණ ඇති බව පොලිසිය කියයි.

මත්පැන් සාදය රාත්‍රී දහය පමණ වන විට නිමවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මැල්සිරිපුර ගම් ප්‍රදේශය බලා යෑමට යතුරු පැදියට නැග සිටිය දී ඝාතනයට ලක් වූ පුද්ගලයා ඔහුගේ ගෙල ප්‍රදේශය මිරිකා බාධා කිරීමේ දී ඊට උරණ වී ගමන් බෑගයේ තිබුණු උල් පිහිය රැගෙන ඇන ඇති බව අනාවරණය වී ඇත. වෙන්දේසි ඉඩමේ කාර්යාලයට යාබදව මළ සිරුර උඩු බැලි අතට වැටී තිබූ අතර හිසට කොට්ටයක් ද තබා තිබූ බව පොලිසිය කියයි. මළ සිරුරේ ගෙල ප්‍රදේශයේ හා වම් අතේ වැලමිට ප්‍රදේශයේ මතුපිටින් බැලූ විට තුවාල කැළැල් දෙකක් දක්නට ලැබෙන බව පොලීසිය සඳහන් කරයි. කොට්ටය තැබූ පුද්ගලයා කවුදැයි කීමට කිසිවකුත් ඉදිරිපත් නොවන බව පොලීසිය කියයි.



ඝාතනයට යොදාගත් උල් පිහිය සැකකරුගේ ගමන් බෑගය තුළ තිබී පොලිසිය සොයාගෙන ඇත. මෙම ඝාතනය එම  ස්ථානයේ නොව වෙනත් ස්ථානයක සිදුවන්නට ඇති බවට බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලිසිය කියයි.ඝාතනය සම්බන්ධයෙන් වෙන්දේසි ඉඩමේ සේවකයන් හත් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය සඳහන් කරයි. මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා මළ සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර හොරණ මූලික රෝහලේ තැන්පත් කරන ලෙසත් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කළේය. ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිතය.


බිමල් ශ්‍යාමන් ජයසිංහ