moratuwa-arrest

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් හමු නොවූ මෙරට හා පිටරට ධන කුවේරයන් භාවිත කරන කොකේන් හා සමාන නව මත්කුඩු විශේෂයක් මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවෙසකින් ඊයේ (5) සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.මෙම මත්කුඩු මෙරටින් හමුවූ සහ අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවත්, එම බළකාය සඳහන් කරයි.

මෙම මත්ද්‍රව්‍ය සමග මෙරට ජාවාරම සිදුකරන කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනකු හා ඔවුන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසියපවසයි.හඳුනානොගත් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මොරටුවේ සමන්පුර පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ තෙමහල් නිවෙසක් ඊයේ පෙරවරුවේ වටලා ඇති අතර,

එම කෝටිපති ව්‍යාපාරිකයාගේ 29 හැවිරිදි පුතා මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.එම අවස්ථාවේ සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115 ක ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඒවා සෙල්ලම්බඩුවල ඉතා සූක්ෂම ලෙස අසුරමින් සිටි බවද එම නිලධාරියා කීය. සැකකරුගෙන් හෙළි වූ තොරතුරු අනුව එම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන තවත් කෝටිපති ව්‍යාපාරිකයකු අත්තිඩිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. අත්තිඩියේ කෝටිපති ව්‍යාපාරිකයා තිස්වන වියේ පසුවන බවත්, ඔහු බෝට්ටු හා බෝට්ටු එන්ජින් ව්‍යාපාර සිදුකරන බවත් පොලිසිය කියයි. ඔහු මෙරට හා මාලදිවයිනේ ව්‍යාපාර හිමි පුද්ගලයකු බවද පොලිසිය පවසයි.  ඔවුන් දෙදෙනා මෙම ජාවාරමට අමතරව කුෂ් නමැති මත්ද්‍රව්‍ය ද ජාවාරම්කරන බව හෙළිවී ඇති අතර එම ජාවාරම්වලට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයකු දෙහිවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. අත්තිඩියේ කෝටිපති ව්‍යාපාරික සැකකරු ගුවන් තැපැල් සේවය හරහා මෙම මත්කුඩු මෙරටට ගෙන්වන බවත්,

එලෙස ගෙන්වන මත්ද්‍රව්‍ය මොරටුව සමන්පුර ව්‍යාපාරිකයාගේ පුතාට බාරදීමෙන් පසු ඔහු ඒවා සෙල්ලම්බඩු තුළ සූක්ෂම ලෙස අසුරන බවත් පොලිසිය පවසයි.

මොරටුවේ සැකකරු මෙම මත්ද්‍රව්‍ය සෙල්ලම්බඩුවල ඇසුරුම් කිරීමෙන් පසු, අත්තිඩියෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඒවා මාලදිවයිනට නැවත පිටත් කර හරින බවටද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය මීට පෙර මෙරටින් හමුනොවීම නිසා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම තවම සඳහන් කළ නොහැකි බව පොලිසිය කියයි.සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ සදහා මොරටුව සහ දෙහිවල පොලිස් ස්ථානවලට බාර දී ඇත.
ඉන්දිකා රාමනායක