mulleria-incident

“ අපේ සහෝදරයා පහුගිය 24 වැනිදා රෑත් කතා කරලා මා බලල යන්න එන්න කියලයි කිව්වා. අපි 25 වැනිදා රෝහලට යන අතරමගදී ඩොක්ටර් කෙනෙක් කතා කරල කිව්වා ඔස්ව් නානාකාමරයේ ලිස්සලා ඇද වැටිලා මියගිහින් කියලා. කොහොම හරි ඉක්මනින්ම මරණය අපට බාර දීලා එයාලා අත පිහදා ගන්නයි ලෑස්ති උනේ. එයාගෙ බිරියත් අවුරුදු දෙකකට කලින් නැති වුණේ. දැන් මේ දරුවාට කාගේ පිහිටක්ද? අම්මයි තාත්තයි දෙන්නම නෑ. මානසික අසනීපයක් තියෙන රෝගියකුට මේ විදියට පහර දෙන්න තරමට රෝහලේ වැඩ කරන සේවකයන්ගේ මානසික මට්ටම කොච්චර පහළට වැටිලාදැයි" මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එහි සෞඛ්‍ය කාර්ය සහායකින්ගේ පහර දීමට ලක්ව ඝාතනයට ලක් වූ ඔස්වි නානායක්කාර මහතාගේ මස්සිනා වන ටිරෝන් ලක්මාල් මහතා විමසයි.



පාදුක්ක වටරැක සමනලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඝාතනයට ලක් වූ එක්දරු පියෙකු වන ඔස්වි නානායක්කාර (47) මහතා වසර 28ක පමණ කාලයක් පෞද්ගලික ආයතනයක සේවය කර ඇති බවත් ඒ කාලය තුළ වරින් වර මානසික ආබාධ සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය. ඔහුගේ බිරිය මෙයට වසර දෙකකට පමණ පෙර මියයා මෙන් පසු නිසි පරිදි ඖෂධ ලබා නොගැනීම නිසා මෙලෙස ඉකුත් 20 වැනිදා මුල්ලේරියාව අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ගොස් නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කළ බවත් ලක්මාල් මහතා පැවසීය.

මේක සාමාන්‍ය මරණයක් විදියට පෙන්නන්න තමා වෛද්‍යවරුන්ටත් වුවමනා වුණේ. ඒත් අපි මේ ගැන හොයපු නිසා තමයි අද ඇත්ත තත්ත්වය දැන ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. වතුර චුට්ටක් ඇඟට විසි කළාය කියල මානසික රෝගියකුට මැරෙන්න ගහන්න තරම් මානසික ලෙඩ්ඩ ද ඔය රෝහලේ සේවයට දාලා තියෙන්නේ. එයාලට එක් රෝගියෙක් පමණක් වුණාට අපේ පවුල්වලට තියෙන එකම පිළිසරණ වෙන්න පුළුවන් ඒ රෝගියා. දැන්වත් මේ පිළිබඳව බලධාරීන්ගේ ඇස් ඇරිලා මේ සිද්ධි මෙතැනින් නතර වෙන්න ඕනෑ යැයිද වැඩිදුරටත් පැවසීය. ඔස්ව් නානායක්කාර මහතාගේ නෑනා වන චම්පිකා රංජනා කුමාරි මහත්මිය මෙලෙස පැවැසුවාය.



'' වෛද්‍යවරුන් මල්ලි ලිස්සලා වැටිලා මිය ගියා කිව්වත් එයාගෙ සහෝදරයන් ඇවිත් බැලුවාහම මේ පිළිබඳව සැකයක් ඇති වුණා. ඒ නිසයි පොලිසියට පැමිණිලි කළේ. ඒ පැමිණිල්ල නිසා තමයි දැනගන්න පුළුවන් වුණේ මේක පහරදීමකින් වෙච්ච ඝාතනයක් කියල. හුඟක් ගහලා තිබුණා එයාට. දැන් එයාලගෙ පුතා තනිවෙලා තියෙන්නේ. ඒ නිසා මේකට සාධාරණයක් ඉෂ්ඨ වෙන්න ඕනේ. ඔය මොනවා කළත් දැන් මේ පුංචි පුතාට තාත්ත ලැබෙන්නේ නෑනේ. අනිත් රෝගීන්ටත් මෙයාලා සලකනව ඇත්තේ මේ විදියට තමා. ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී පහර දෙන ආකාරය ඒවායේ තිබුණා. ඒකෙන් තමා හැමදේම එළියට ආවේ. දැන්වත් ඔය මිලේච්ඡ වැඩ නවත්තන්න පියවර ගන්න ඕනෑ. මානසික රෝගියෙක් කියන්නේ සාමාන්‍ය රෝගියෙක් නෙමෙයි. බලධාරීන්ගේ අවධානය මේවට යොමු කරන්න කියල ඉල්ලා සිටිනවා"

ලද පැමිණිල්ලට අනුව මුල්ලේරියාව පොලිසිය මේ පිළිබඳව අධිකරණය ද දැනුවත් කර අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ශරීරයේ ස්ථාන 35කට ආසන්න ස්ථානවලට ඇති වූ තැළුම් නිසාවෙන් ඇති වූ ලේ වහනය වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට අනාවරණය වූ බවද මුල්ලේරියාව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. ඒ අනුව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදුකරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. අත් අඩංගුවට ගැනුණ සැකකරුවන් සිව් දෙනා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ අංක 08 ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර ඇත.

මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ සඳහන් කළාය.



‘රෝහල් තිබූ ආරක්ෂිත කැමරා දර්ශන අනුව අදාළ රෝගියාට පහර දෙන ආකාරය දකින්නට ලැබුණා. එම සේවකයන් මේ වනවිට වැඩ තහනමකට ලක් කර සිටිනවා. මෙය හුදෙක් සේවකයන් කිහිප දෙනකුගේ ක්‍රියාවක් පමණයි. සමස්ත සේවකයින් සියලු දෙනාම මේ විදියට රෝගීන්ට පහර දෙමින් හැසිරෙන්නේ නෑ. ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කරනවා” යැයි පැවසුවාය. ඝාතනය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව කටයුතු ආරම්භ කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමටද කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

 කේ. බුද්ධික කුමාරසිරි