muthuraja-returns-thailand

ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් පරිත්‍යාගයක් ලෙස ලබාදී තිබූ ධාතු කරඩුව වඩම්මන 'මුතු රාජා' හස්තියා සත්ව හිංසනයේ ප්‍රතිඵලයක් ලෙස තායිලන්තය විසින් නැවත කැඳවාගනු ලැබ තිබේ. මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් ”මුතු රාජා” නොහොත් ”සක්සුරින්” හස්තියා යළි ආපසු තායිලන්තය වෙත අද (2) උදෑසන තායිලන්තය බලා ගෙන ගොස් ඇත්තේ රුසියානු ගුවන් යානයකිනි.


'උඹලට බලාගන්න බැරිනං අපි ගෙනයනවා' වැනි අදහසකින් මෙම හස්තියා ආ රටටම ගෙන යන්නේ ශ්‍රී ලංකා රජය තායිලන්ත තානාපති වෙත හස්තියා රඳවාගන්නා ලෙස නැවත නැවත කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුවයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ පරිත්‍යාගයක් ලෙස තායිලන්තය විසින් මුතුරාජා හස්තියා ලබාදී තිබූ අතර, අනතුරුව අලුත්ගම කන්දේ විහාරස්ථානය වෙත භාරදීමට පියවර ගෙන තිබිණි.

කෙසේ වුවද හස්තියා භාරව කටයුතු කළ ඇත්ගොව්වාගේ අනිසි හැසිරීම මත හස්තියා හිංසනයට පත්ව ඇති බවට අනාවරණය වීම හේතුවෙන් මෙරට තායිලන්ත තානාපතිවරයා විසින් මුතුරාජා හස්තියා කන්දේ විහාරස්ථානයෙන් මාරු කර දෙහිවල  සත්වෝද්‍යානය භාරයට පත් කර තිබිණි.
පාදයේ ඇති වූ ආබාධ පිළිබඳවද නිරීක්ෂණය වූ අතර විදේශයන්හි සිට ආ සංචාරකයින් හා සත්ව ආරක්ෂාව සම්බන්ධ සංවිධාන හස්තියාට සිදුවන හිරිහැර ගැන වරින්වර වාර්තා කර තිබුණි.
මේ නිසාම මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට රැගෙන යාමට තානාපතිවරයා තීරණය කර තිබූ බවද වාර්තා විය.

හස්තියා මෙරට රඳවා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර කියා තිබුනේ, දෙහිවල සත්වෝද්‍යානයේ කාර්යමණ්ඩල සත්කාර මධ්‍යයේ හස්තියා මේ වනවිට ආරක්ෂිතව පසුවන බවයි. ඒ ගැන දන්වමින් තානාපතිවරයා වෙත නැවත ඉල්ලීම් කර තීරණය වෙනස් කරන ලෙසද ඉල්ලා තිබුණි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රාජ්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ලැබුණු ඇතුන් දෙදෙනාගෙන් එක් ඇතකු කැලණි රජමහා විහාරයටත් අනෙක් ඇතා වන මුතූ රාජා නමින් නම් තබා තිබූ මේ ඇතා අලුත්ගම කන්දේ විහාරයටත් පරිත්‍යාග කෙරුණ අතර පසු කාලීනව ශ්‍රී දළදා පෙරහරේ කරඬුවක් දරා ගමන් කිරීමට සුදුසුකම් ලැබ සිටි  සත්වයෙකි.


ශ්‍රී ලංකාවට ලබා දුන් ” මුතු රාජා ” ” නොහොත් ” සක්සුරින් ” හස්තියා යළි ආපසු තායිලන්තය වෙත රැගෙන යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවේ අද අලුයම 3ට පමණයි.
හස්තියා රැගත් රුසියානු ඉලුෂියන් – 76 ගුවන් යානය අද උදෑසන 07.30ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර “ෂියන්මායි” ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබෙයි.
දෙහිවල සත්වෝද්‍යානයෙන් රැගෙන පිටත්වූ විශේෂ රථය ඉතා සෙමින් හස්තියා අපහසුතාවට පත් නොවන ආකාරයට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.

අලුත්ගම කන්දේ විහාරයේ සිටි ‘මුතු රාජා’ ඇතා පසුපස පාදයේ ඇති වූ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට තායිලන්තයට රැගෙන යන බව පමණක්  කන්දේ විහාරයේ විහාරාධිපති කොක්කාවිට විපුලසාර නාහිමියෝ මාධ්‍ය වෙත දන්වා තිබූ නමුත් සත්ව හිංසනයක් සිදුවූ කතාව මාධ්‍ය වෙත දන්වා තිබුනේ නැත. හස්තියා ප්‍රතිකාර කර නැවත ලංකාවට ගෙන ඒමක් සිදුවන ආකාරයට අදහස් දක්වා තිබූ නමුත් එවැන්නක් දැන් සිදුවන්නේ නැත.