negombo-magestrate

අත්අඩංගුවට ගත් තිදෙනකුට විශ්‍රාමික නීතිපතිවරයකුගේ සේවය ගැනීම නිසා නඩු පවරන්නේ නැතිව නිදහස් කළ නීතිපතිවරයා විශ්‍රාමික නීතිපතිවරයාගේ ගාස්තුව ගෙවීමට නොහැකි වූ තමාට පැවරීම හේතුවෙන් අවුරුදු 11ක් නඩු කීමට සිදුවූ බව කියමින් අධිකරණයේ හඬා වැටුණු හිටපු ගුවන් සේවා නිලධාරියකු මීගමුව මහේස්ත්‍රාත් දර්ශිකා ප්‍රේමරත්න මහත්මිය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළාය. විශ්‍රාමික නීතිපතිවරයකුගේ සේවය ගත්, මෙම වරදට සම්බන්ධ සියලු දෙනා නඩු පවරන්නේවත් නැතිව  මුදාහළ නීතිපතිවරයා ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණැයි කියන පදනම යටතේ ව්‍යාජ ලෙස පුද්ගලයින් විදේශ ගත කළ බවට තමාට පමණක් නඩු පැවරූ බව ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.



තමාට සිදුවූ දේ මේ  ලෝකේ කිසිවකුටත් නොවේවා යැයි විත්ති කූඩුවේ සිට ප්‍රාර්ථනා කළ තාරක මිහිනාථ නමැත්තකු  සියලු චෝදනා වලින් මහේස්ත්‍රාත්වරිය මෙලෙස නිදොස් කොට නිදහස් කළාය. 2011 අගෝස්තු මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ව්‍යාජ වීසාවකින් අන්තෝනිමුත්තු ජෝන් බෙනඩික් නමැත්තාට නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාවෙන් පිටවීම සඳහා ආධාර අනුබල දුන් බවට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් සේවා නියෝජිතවරයකු වශයෙන් රාජකාරි කළ නාත්තන්ඩියේ පදිංචි තාරක මිහිනාථ නමැත්තකුට එරෙහිව චෝදනා නඟා ඇත.

නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරන ලද නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේ විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කළ තාරක මිහිනාථ නමැත්තා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවා නියෝජිතවරයකු වශයෙන් කටුනායක ගුවන් තොටු පළේ රාජකාරි කළ තමාට පැවරී තිබුණේ විදේශගත වීමට පැමිණෙන පුද්ගලයන්ගේ ගුවන් ගමන් බලපත්‍රය සහ ගුවන් ටිකට් පත පරීක්‍ෂා කර ඔවුන්ට ‘බෝඩිං පාස්' එක නිකුත් කිරීම බවත් 'බෝඩිං පාස්' එක ගත් පුද්ගලයන් ගුවන් යානයට නැඟීමට පෙර ආගමන විගමන නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක් වන බවත් පැවසීය.විත්ති කූඩුවේ සිට වැඩිදුරටත් ප්‍රකාශය කරමින් තාරක මිහිනාථ මහතා මෙසේ ද පැවසීය.

“මෙම නඩුවට අදාළ දින ඉතාලියට යෑමට පැමිණි පුද්ගලයකු සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඔහු පසෙකින් වාඩි කරවා ඔහු පිළිබඳ ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නා.

පසුව කළ පරික්‍ෂාවක දී ව්‍යාජ වීසා මඟින් ඉතාලියට යෑමට පැමිණි ඔහු ඇතුළු පුද්ගලයන් හත්දෙනකු රහස් පොලිස් නිලධාරීන් විසින් අල්ලා ගත්තා. ගුවන් සේවා නිලධාරියකුගේ නමක් කියා ඔහු මට කෙටි පණිවුඩයක් එවා ඇද්දැයි රහස් පොලිස් නිලධාරීන් මගෙන් විමසුවත් මා දන්නේ නැතැයි කීවා. නීති විරෝධී ආකාරයෙන් පුද්ගලයන්ට ඉතාලියට යෑමට උදවු කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවා නිලධාරීන් තිදෙනකු මුල දී අත්අඩංගුවට ගත්තා පසුව මා අත්අඩංගුවට ගත්තා.  ඔවුන් විශ්‍රාමික නීතිපතිවරයකු ඔවුන්ගේ නඩුවට අල්ලා ගත්තා. ඒ විශ්‍රාමික නීතිපතිවරයා විදුහල්පතිවරයකු වූ මගේ පියාට කතා කර නීතිපතිතුමාට කතා කර හතරදෙනාම නිදහස් කරලා  දෙන්නම් කියා සල්ලි ඉල්ලා තිබුණා. එච්චර මුදල් තිබුණේ නැති නිසාත් මං වරදක් නොකරපු නිසාත් මගේ නඩුවට විශ්‍රාමික නීතිපතිවරයා ඇල්ලුවේ නැහැ.

මට කෙටි  පණිවුඩය එව්වැයි කියන ගුවන් සේවා නිලධාරියා ඇතුළු ලක්‍ෂ ගණනින් මුදල් බැංකු ගිණුම්වලට ලැබුණයි කියන ගුවන් සේවා නිලධාරීන් තිදෙනාම නඩු පවරන්නේවත් නැතිව නීතිපතිවරයා විසින් නිදහස් කර කෙටි පණිවුඩයක් ලැබුණයි කියලා මට විතරක් නඩු පැවරුවා. නොකළ වරදකට අවුරුදු 11 ක් මේ උසාවියට මං එනවා. මේ ගැන කල්පනා කරලම මගේ පියා අසනීප වෙලා. මේ වන විට පියාට සිහි කල්පනාවත් නැහැ. නොකළ වරදකට විරුද්ධව පැවරූ නඩුව නිසා මට මගේ රස්සාවත් නැති වුණා. කුලී වැඩ කරලයි මං දැන් ජීවත් වෙන්නේ. සිදුවූ අසාධාරණය ලෝකේ කිසිවකුටත් සිදු නොවේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 11කට පස්සේවත් යුක්තිය ඉෂ්ට කරලා දෙන්න කියලා මේ ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."



නඩු විභාගය අවසානයේ  දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය කරුණු ඉදිරිපත් කරමින් ඉදිරිපත් වූ සාක්කි අනුව  සුදුසු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි අතර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා කරුණු ඉදිරිපත් කරමින් වසර 11ක  කාලයක් තිස්සේ බරපතළ අසාධාරණයකට ලක් වූ තම සේවාදායකයාට සාධාරණයක් කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සියලු චෝදනා වලින්  විත්තිකරු නිදොස් කොට නිදහස් කළාය.  විත්තිකරු වෙනුවෙන් නීතිඥ දිනෙරූ  බණ්ඩාර මහතා සමඟ නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙනී සිටියේය.

මනෝප්‍රිය ගුණසේකර