onmax-dt-court-case

නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පස් දෙනකුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාරිතමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාරිතාවක් ඉදිරිපත් කරමින් ඊයේ (12) සදහන් කළේය. මෙම පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගලා යන අවසාන 'වොලට්ටුව’ ඕස්ට්‍රේලියාවේ හෝ වෙනත් විදේශ රටක ඇති ගිණුමක් නොවන බවත්, එය ශ්‍රී ලංකාවේ ලාංකිකයකුට අයත් එකක් බවට මහ බැංකුව මගින් කළ විමර්ශනයකදී අනාවරණය කරගත් බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් දැනුම් දුන්නේය.

ගනුදෙනු අත්හිටුවා ඇති ‘ඔන්මැක්ස් ඩීටී' පුද්ගලික සමාගමේ අතත්‍ය ගිණුම්වල මුදල් නොමැති අතර, මෙකී ආයතනය නමින් මෙරට ආරම්භ කර ඇති බැංකු ගිණුම්වල ද සැලකිය යුතු මුදල් ශේෂයක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයට දැනුම් දුන්නේය. ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පස් දෙනකුගේ බැංකු ගිණුම්වල ඉකුත් මාර්තු මස 21 වැනි දින වන විට රුපියල් හැත්තෑ නව කෝටි හය ලක්ෂ දහඅට දහස් පනහක මුදලක් (7,90,618,050) තැන්පත්ව ඇති බවත්,

ඉන් වැඩිම මුදල වන රුපියල් පනස් පන් කෝටි අසූ නව ලක්ෂ හතළිස් එක්දහස් හයසිය පනස් හතක මුදලක් (55,89,41,657) එම සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් නමැත්තාගේ බැංකු ගිණුම් 16ක තැන්පත්ව ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන සාරංග රන්දික ජයතිස්ස යන අයගේ බැංකු ගිණුම්වල රුපියල් දහඅට කෝටි විසිපන් ලක්ෂ හැටතුන් දහස් හයසිය හතළිස් එකක (18,25,63,641) මුදලක් ද, ධනංජය ජයාන් යන අයගේ බැංකු ගිණුම්වල රුපියල් එකොළොස් කෝටි පහළොස් ලක්ෂ හැත්තෑ හතර දහස් නවසිය හැට හතරයි ශත හැට එකක (11,15,74,964.61) මුදලක් ද, අතුල ඉන්දික සම්පත් යන අයගේ බැංකු ගිණුම්වල රුපියල් දෙකෝටි අනූ පන්ලක්ෂ හැටහත් දහස් හතළිස් හතරයි ශත දොළහක (2,95,67,044.12) මුදලක් සහ ගයාශාන් යන අයගේ බැංකු ගිණුම්වල රුපියල් දහ නව ලක්ෂ හැත්තෑ දහස් අටසිය හතරක (19,70,804) මුදලක් ද තැන්පත්ව ඇති බවට තොරතුරු අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර ඇත.මෙම ගිණුම් හිමි ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද ඉකුත්දා අධිකරණයෙන් නිකුත් කෙරිණි.

මෙම තහනම් පිරමීඩ මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, යෝජනා ක්‍රමයේ උපරිම පැකේජයක් සඳහා ආයෝජනය කරන ලද අයකුට දිනකට යූඑස් ඩීටී 50කට වඩා වැඩි ප්‍රමාණයක් ලාභාංශ හෝ ප්‍රතිලාභ වශයෙන් ලබා ගැනීමට හැකි වන බවටත්, ඒ සඳහා දින ගණනක් ගත වන බවටත්, තොරතුරු අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධියට අදාළව මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සමග එක්ව (බ්ලොක් චේන් ඇනලිස්ට්) විමර්ශනයක් සිදු කළ බවත්, එම විමර්ශනයට අනුව මෙම 'ඔන්මැක්ස් ඩීටී' පුද්ගලික සමාගමේ මුදල් ගලා යන අවසාන වොලට්ටුව පිහිටා ඇත්තේ විදේශයක නොව ශ්‍රී ලංකාව තුළ සිටින ලාංකිකයකුගේ ගිණුමකට බවත් කරුණු අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.



මෙම ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ හිමිකරු ඕස්ටේරලියාවේ ජීවත්වන සෑම් බස්නායක යන අයකු බවට මේ වන විට තොරතුරු හෙළි වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධියට අදාළව ඇමෙරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 8ක් මාස හයකට වහාම අත්හිටුවන ලෙස ඇමෙරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්' (binance.com) මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට ද අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබුණේ ඉකුත් අප්‍රේල් මස 19 වැනිදාය. ඒ අනුව, මෙලෙස අත්හිටවූ ගිණුම් අට වන්නේ, ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගම (ශ්‍රී ලංකාව), ඔන්මැක්ස් පී.ටී.වයි. එල්.ටී.ඩී. සමාගම (ඕස්ටේලියාව), ශ්‍රී ලාංකිකයන් වන ධනංජය ගයාන්, සම්පත් සඳරුවන් ලේනදූවගේ, සාරංග රන්දික ජයතිස්ස (ගිණුම් දෙකක්), වික්‍රමපේලි ගෙදර චන්ද්‍රකාන්ති සහ කහඳව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත් යන අයවලුන්ගේ නමින් පිහිටුවා ඇති ගිණුම්ය.

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගම මෙරට ගනුදෙනු සඳහා යොදාගත් ලංකා බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, නේෂන්ස් ට්‍රස්ට්, සෙලාන් බැංකුව සහ පීපල්ස් ට්‍රස්ට් යන බැංකු හා මූල්‍යායතනවල අදාළ සමාගම නමින් තිබූ බැංකු ගිණුම් 57 ක් අත්හිටුවීමට ද ඉකුත් මාර්තු මස 28 වැනිදා අධිකරණයෙන් නියෝග නිකුත් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසිනි.

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගම ලෙසින් සමාගමක් ලියාපදිංචි කරමින්, එකී සමාගම හරහා නීති විරෝධී පිරමීඩිකාර ගනුදෙනු කරමින්, අතත්‍ය මුදල් වොලට්ටුවල (Crypto Currency Wallet) ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් ගනුදෙනු සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි. බැංකු පනතේ 83 අ (1) වගන්තියට අනුව සහ 2011 අංක 40 දරන පනතේ 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වැනි වගන්තියට අනුව මෙම අයවලුන් සිදු කර ඇත්තේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.
නිමන්ති රණසිංහ