panadura-lover-incident
විවාහ වෙන්න බෑ කී සිය පෙම්වතා පැහැරගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණියක සහ තවත් පුද්ගලයන්  තිදෙනෙකු සම්බන්ධ නඩු විභාගයක් ඊයේ පානදුර අධිකරණයේදී විභාග විය.

පැහැරගැනීමට ලක්වූ තරුණයා පෙර දින රාත්‍රි සේවය නිමවා යතුරුපැදියකින් අළුබෝමුල්ල පින්වත්ත මාර්ගයේ එමින් සිටියදී ත්‍රීරෝද රථයකින් ආ තව පිරිසක් සමග ආ පෙම්වතිය බව කියන තරුණිය ඔහුව පැහැරගෙන ගොස් හබරලගහලන්ද ප්‍රදේශයේ පාළු නිවසක සඟවාගෙන සිට ඇති බව අනාවරණය විය.



පැහැරගැනීමට ලක්වූ තරුණයා සහ පැහැරගත් තරුණිය පෙම්වතුන්ව සිට ඇති බවත්, තරුණිය විවාහ කරගැනීමට තරුණයා අකමැත්ත පළ කිරීම හේතුවෙන් පැහැරගැනීම සිදුව ඇති බවට මූලික පරීක්ෂණ වලදී අණාවරණය වී ඇති බව පොලීසිය කීය.
තරුණිය තම පෙම්වතා විවාහ වෙන්න බෑ කී පසුව පිරිමි යාළුවන් තිදෙනෙකු කැටුව මෙම පැහැරගැනීම සිදු කර ඇත.
කෙසේ හෝ තරුණයාගේ මව මැදිහත්වී තරුණයා බේරාගෙන ඇත.

තරුණිය හා සැකකරුවන් තිදෙනෙකු පෙරේදා (04දා) පස්වරුවේ අළුබෝමුල්ල පින්වත්ත අතුරු මාර්ගයේදී ත්‍රිරෝද රථයකින් පැමිණ තමා පැහැරගෙන ඇති බවට  තරුණයා සහ ඔහුගේ මව අනතුරුව පොලිසියට පැමිණිලි කර ඇති අතර
සැකකරුවන් ඊයේ(05දා) පිංවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පින්වත්ත පොලීසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.



පැහැරගැනීම හා රඳවා ගැනීමක් කර ඇති හෙයින් සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස උපපොලිස් පරීක්ෂක එච්.එම්.ඩී. හේරත් අධිකරණයට කරුණු වාර්තා කරමින් ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටී නීතිඥ හිමාලී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, දෙදෙනා පෙම්වතුන් බවත්, සමාදානවීමට තම සේවාදායකයා එකග බවත්ය.
ඒ අනුව රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇප හතරක් මත සැකකරුවන් මුදාහරින ලෙස ඊයේ (5දා) නියෝග කළ පානදුර අතිරේක මහේස්ත්‍රාත් ළහිරු එන්. සිල්වා මහතා, නඩුව යළි 2024 පෙබරවාරි මස 02 දින යළි කැඳවීමට නියෝග කළේය.

මෙලෙස ඇපමත මුදාහරිනු ලැබුවේ, වාද්දූව, මහවිහාර පාරේ පදිංචි කලුතන්ත්‍රි පටබැදිගේ සවිනි කෞහාරී (අවු.31), වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි ගමගේ නිශාන්ත ඛන්දුල (අවු.30), මොල්ලිගොඩ උඩවෙල පාරේ පදිංචි හේවාමාන්නගේ සහන් කාවින්ද හේවාමාන්න (අවු.23) සහ වාද්දුව පොතුපිටියේ පදිංචි වික්‍රමරත්න මහවිදානලාගේ කවිදු නිස්සංක නමැත්තන්ය.