pandu-karanda-tree-daraluwa

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන දාරළුව ප්‍රදේශයේ තිබී කපා වළ දමා ඇති බව කියන, වඳවී යෑමේ තර්ජනයට ලක් වීම හේතුවෙන් රතු දත්ත පොතේ සදහන් වී ඇති පඞු කරද (කෲඩියා සෙලනිකා) ගස පරීක්ෂණයක් සඳහා මේ මස 28වැනිදා ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය ඉදිරියේ ගොඩ ගැනීමට පියවර ගන්නා ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය ඊයේ (24දා) පස්වරුවේ ගම්පහ දිසා වන නිලධාරීවරයාට නියෝග කළාය.



එම ගස ගොඩ ගන්නා තුරු, ගස වළ දමා ඇති ප්‍රදේශයට අධිකරණ නියෝගයකට අනුව යොදවා ඇති පොලිස් ආරක්ෂාව ඒ අයුරින්ම පවත්වා ගෙන යන ලෙසට බෙම්මුල්ල පොලීසියට දැනුම් දෙන ලෙසටද අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කෙරිණ.

ගම්පහ දිසා වන කාර්යාලය මගින් ඒ සම්බන්ධව ගොනු කර ඇති බී වාර්තාව ඊයේ (24දා) පෙරවරුවේ නැවත කැඳවූ අවස්ථාවේ පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ නීතිඥ මහත්ම මහත්මීහු කරුණු දක්වමින් මෙය අනීතිකව හොර රහසේ කපා වළ දමා ඇති බවත්, ඒ නිසාම වන නිලධාරීන් මෙම බී වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇති නමුත් අද එම වන නිලධාරීන් මේ පිළිබඳව නිවැරදි ප්‍රකාශයක් නොකිරීම බලවත් සැකයට භාජනය වී ඇති බවත් කියා සිටියහ.



මේ සිද්ධිය පිළිබඳව කටයුතු කිරීමට තමන්ට බලයක් නැති බවත්, බලය ඇත්තේ වන ජීවී දෙපාර්තමේන්තුවට බවත්, වන නිලධාරීන් ප්‍රකාශ කරනවා නම් ඔවුන් අධිකරණයට 2405/2023 අංකය යටතේ බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළේ කුමක් නිසා දැයිද ප්‍රශ්න කෙරිණ. මෙම වන නිලධාරීන් අද ඔවුන්ට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් විවෘත අධිකරණය ඉදිරියට පැමිණ විවිධ ප්‍රකාශ කරනවා යැයිද නීතිඥවරු වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියහ.

මෙහිදී මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ව්‍යාපෘති ඉංජිනේරු අංශය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාජිකා ද සිල්වා මහත්මිය කරුණු දක්වමින් කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ගස ඉවත් කර තිබෙන බවත්, ඒ තත්ත්වය යටතේ ගස ගොඩ ගැනීමේ අවශ්‍යතාවක් නැති බවත් කියා සිටියාය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ මහත්මා මහත්මීන්, මෙය අපරාධයක් වන හෙයින් ඉදිරි පරීක්ෂණ සදහා ගස ගොඩ ගත යුතු බවට කරුණු දැක්වීම හේතුවෙන් නඩුව පසුවට කල් තැබිණ.

මෙය ඊයේ (24දා) පස්වරුවේ නැවත කැඳවූ අවස්ථාවේ දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව මෙය පරීක්ෂණ කටයුතු සඳහා ගොඩ ගැනීමට අවශ්‍ය සහාය ලබා දිය හැකි දැයි මහේස්ත්‍රාත්වරිය වන නිලධාරීන් ගෙන් ප්‍රශ්න කළාය.

ගම්පහ දිසා වන නිලධාරි ඉසුරු අලවත්ත මහතා:-

"ගොඩගැනීමට අවශ්‍ය සහාය ලබා දිය හැකියි. නමුත් ඉදිරි පරීක්ෂණ කටයුතු කිරීම සඳහා එම ගස ගොඩගැනීමකින් තොරව , වළ දමා ඇති ස්ථානයේම මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේත් තබා ගැනීමට හැකියාව තිබෙනවා”.




අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ ලක්දිනු ධීරසේකර මහතා:-

"ඒක පුදුම කතාවක්. ගස හොරෙන් කපපු පුද්ගලයන්ටම ආරක්ෂාව භාර දීමට යෝජනා කිරීම විහිලුසහගත ප්‍රකාශයක්. අනෙක් පැත්තෙන් ඔවුන් මේ ගස හොරෙන් කැපීමට වගකිවයුතු සැකකරුවන් බවට ඉදිරි පරික්ෂණවලදී මතුවීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. මේ තත්ත්වය යටතේ අගතියට පත් පාර්ශ්වයේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා”.

මහේස්ත්‍රාත්වරිය:-

"හොඳයි ගස ගොඩගතහොත් පරීක්ෂණ කටයුතු කිරීමට දිසා වන කාර්යාලයට හැකියාව තිබෙනවාද?

ගම්පහ දිසා වන නිලධාරී ඉසුරු අලවත්ත මහතා:-

"අපට ගස් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට හැකියාවක් නැහැ. නමුත් උද්භිද උද්‍යාන පරීක්ෂණ අංශයට හා දැව සංස්ථාවේ පර්යේෂණ අංශයට ඒ පිළිබඳව හැකියාව තිබෙනවා”.

මහේස්ත්‍රාත්වරිය:-

”ගස ගොඩ ගන්නට නම් කුමක්ද අවශ්‍ය වන්නේ?.

දිසා වන නිලධාරී:-

”මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරිම් අංශයේ යන්ත්‍ර සූත්‍ර ලැබෙනවා නම් එය කළ හැකියි”.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නීතිඥ රාජිකා ද සිල්වා මහත්මිය මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ව්‍යාපෘති ඉංජිනේරු අංශයේ යන්ත්‍ර සූත්‍ර ඒ සඳහා ලබා දීමට හැකි බව කියා සිටියාය.

දීර්ඝ කරුණු දැක්වීම්වලින් අනතුරුව මේ මස 28වැනිදා ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක මහත්මිය ඉදිරියේ එම ගස ගොඩගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරිය ගම්පහ දිසා වන නිලධාරීවරයාට නියෝග කළාය.

එම අවස්ථාවට සහභාගි වන ලෙසට දන්වා ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂවරයාට හා රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට(පර්යේෂණ) නොතීසි යැවීමට ද නියෝග කෙරිණ.

 (වාරණ- ආනන්ද ජයකොඩි සහ ගම්පහ- අධිකරණ ටෝනි කරුණානායක )