pandu-karanda-tree-daraluwa

දාරළුව ප්‍රදේශයේ තිබූ පඬු කරඳ ගස කැපීමට කැබ්නට් අනුමැතිය ලබාදෙන ලෙස තමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවත්, පඬු කරඳ ගස් ඕනෑ තරම් තිබෙන නිසා මෙම ගස කපා දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය.
රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත ගස ඉවත්කළ බවද ඔහු කීවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කීවේය.

පඬු කරඳ ගස වෙනුවට එම ගස් 200 ක් පැළ කිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු පැවසුවේය.

විෂය භාර ඇමැතිවරයා ලෙස පඬු කරඳ ගහ සම්බන්ධයෙන් තමා දැනුවත් බවද ඔහු කීවේය.



අධිවේගී මාර්ග ව්‍යාපෘති කඩිනමින් නිම කළේ ​නම් රුපියල් කෝටි ගණනක මුදලක් ඉතිරි වන බවද, නමුත්, අවාසනාවකට පඬු කරඳ ගසක් නිසා උද්ඝෝෂණ සිදුකළ බවද, මෙම ගස බේරා සැලසුම වෙනස් කළහොත් රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදුවන බවද ඇමැතිවරයා කීවේය.

තමා මේ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කළ බවත්, අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අවට වසර 40 ට වඩා පැරණි පඬු කරඳ ගස් 15 ක් තිබෙන බවත් එම අධ්‍යයනයේදී තහවුරුවූ බවද ඔහු පැවසුවේය.

උස අඩි 12 ත් 15 ත් අතර පඬු කරඳ ගස් 25 ක් තිබෙන බවද, මෙම පඬු කරඳ ගස පමණක් තිබෙන බවට පතුරා ඇත්තේ මිත්‍යාවක් බවට කැබිනට් මණ්ඩලයට තමා දැනුම්දුන් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙරටට ආවේණික විශාලතම හා දුර්ලභ පඬු කරඳ ශාකය විනාශ කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්ත්‍ර 4 ක් භාවිත කර ඇතැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඇති පළමු කොටසට අයත් වන භූමියක පිහිටි මෙම ශාකය ක්‍රමවත්ව සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකර අනීතිකව හා බලහත්කාරය භාවිත කර මෙසේ විනාශ කර දමා තිබෙන බවද, ශාකය කපා ඉවත් කර, මුල් කොටස් ගළවා ඉවත් කිරීම හා වලවල් හාරා ශාකයේ කොටස්වල දමා පස් ඇතිරීම ඇතුළු සියලු ක්‍රියා ඉතාම සංවිධානාත්මකව සිදු කර ඇති බවද සජීව චාමිකර කියන්නේය.



ෆැබේසියේ (Fabaceae) කුලයට අයත් පඬු කරඳ ශාකය ඉංග්‍රිසියෙන් Sri Lanka Legume ලෙසත් විද්‍යාත්මකව Crudia zelanica ලෙසත් හැඳින් වේ. මෙම ශාකය විද්‍යාත්මකව නාමකරණය කිරීමෙන් අනතුරුව 1911 වසරෙන් පසු මෙරටින් වාර්තා වූ බවට විද්‍යාත්මක සාධක නොතිබුණි. නමුත් 2019 වසරේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ දාරළුව ග්‍රාම නිලධාරී වසමට අයත් මධ්‍යම අධිවේගී මාර්ගයට යටත් වන එච්. අයි. එම්. ඒ. මුණසිංහට අයත්ව තිබූ වන්දි ගෙවීමෙන් පසු පවරාගන්නා ලද ඉඩමෙන් වසර 108 කට පසුව හිමේෂ් ජයසිංහ ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් පළමු වරට මෙම ශාකය නැවත සොයා ගන්නා ලදී. ඉන් පසු ව ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාන කිහිපයකින් මෙම ශාක විශේෂය වාර්තා කිරීමට ද හැකි වී ඇත.

2021 වසරේ දී පරිසර අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කළ ජාතික රතු දත්ත ලේඛනයේ මෙම ශාකය දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ (Critically Endangered - CR) ශාකයක් ලෙස නම් කර තිබේ. ඊට හේතුව පළමුව වඳවී ගොස් ඇතැයි විශ්වාස කළ මෙම ශාකය 2019 වසරේ දී නැවත වාර්තා කිරීම හා ස්ථාන කීපයකින් පමණක් ස්වාභාවිකව මෙම ශාකය වාර්තා වී තිබීම ය.

සාලිය කුමාර ගුණසේකර