peradeniya-student-incident

නවක වද සිද්ධියකට සම්බන්ධ බව කියමින් රහස් පොලිසියට කැඳවනු ලැබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන විසිපස් හැවිරිදි සිසුවකුට එහිදී පහර දී ශිෂ්‍යභාවය අහෝසි කරන බවට තර්ජනය කිරීම හේතුවෙන් සිත් වේදනාවට පත් වූ ඔහු

විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයකදී එල්ලී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇදවැටී තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. එම සිසුවා මඩකළපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රහස් පොලිසිය විසින් කරන ලද දැනුම්දීමක් අනුව ඔහු ඉකුත් 7 වැනිදා රහස් පොලිසිය හමුවේ පෙනී සිට ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

රහස් පොලිස් මූලස්ථානයේ දී නිලධාරියකු ඔහුට පහර දී ශිෂ්‍යභාවය අහෝසි කිරීමට පියවර ගන්නා බව පවසා විමර්ශන කටයුතු සඳහා ජංගම දුරකථනයද රහස් පොලිස් භාරයට ගෙන ඇත. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සිසුවා සිද්ධියට අදාළව ප්‍රකාශයක් දෙමින් මෙම තොරතුරු හෙළි කළේ යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය. රාත්‍රි ආහාරය ගෙන ඒමට පිටව ගිය සිසුන් නැවත පැමිණ කාමරයේ දොරට තට්ටු කර ඔහුට කතා කර ඇතත් දොර විවෘත කර නොමැති බව පොලීසිය කියයි.



සිසුන් පිරිස ජනේලයකින් බැලීමේදී සිසුවා බිම ඇද වැටී සිහිසුන් වී සිටින අයුරු දැක අනෙකුත් සිසුන්ගේ ද සහාය ඇතිව ඔහු පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත. රෝහල් ගතව ප්‍රතිකාර ලබන සිසුවාට සිහිය ලැබූ පසු පොලිසිය ඔහුගෙන් සිද්ධියට අදාළව ප්‍රශ්න කර ඇත. රහස් පොලීසියට ගිය අවස්ථාවේ තමාට පහර දී ශිෂ්‍යභාවය අහෝසි කිරීමට පියවර ගන්නා බව පවසා ඔහුගේ ජංගම දුරකතනයද පොලිස් භාරයට ගත් බව සිසුවා පොලිසියට පවසා ඇතැයි කියති. මේ හේතුව මත ලැජ්ජාවට සහ සිත් වේදනාවට පත් වී තමා සියදිවි නසා ගැනීමට තීරණය කළ බවට සිසුවා පවසන්නේ යැයි පොලිසිය පවසයි. පේරාදෙණිය පොලීසිය  මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය