peradenya-staff-issue

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන්, මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යයන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ 2022 ජනවාරි සිට මේ වසරේ මැයි වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ ආචාර්ය මහාචාර්යවරුන් 70 දෙනකු විශ්වවිද්‍යාල සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී විදේශගත වී ඇති බවය.



තවත් විශාල පිරිසක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී සිටින බවද මහාචාර්යවරයා පැවසීය. මහාචාර්යවරුන්ගේ විදේශගත වීම ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ වෛද්‍ය පීඨය, ඉංජිනේරු පීඨය, විද්‍යාපීඨය සහ දන්ත පීඨය යන පීඨවලට බව ද ඔහු සඳහන් කළේය. මෙම තත්ත්වය මත සිසුන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යාම ගැටලු සහගත තත්වයකට පත්ව ඇති බව පැවැසූ මහාචාර්යවරයා කථිකාචාර්යවරුන් පිටතින් කැඳවා අධ්‍යයන කටයුතු කරගෙන යාමට සිදුව ඇති බව ද පැවසීය.

 ෂේන් සෙනෙවිරත්න