pettah-incident

පිටකොටුව ඕල්කට් මාවතේ බෝධිය අසල පොලිස් මුරකුටිය තුළ පොලිස් නිලධාරීන්ට පිහියක් පෙන්වා තර්ජනය කර මුරකුටියට අතින් පයින් පහරදී අලාභ කර පලා යාමට උත්සහ කළ විවෘත වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු ලබා සිටින ආදුරුප්පුවීදියේ පදිංචි (30) හැවිරිදි පුද්ගලයෙකි.

එහි පොලිස් නිලධාරීන්ට පිහියක් පෙන්වා පලා යාමට උත්සාහ කළ වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලීසිය පවසයි.

පිටකොටුව පොලිසිය් උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුලු හත් දෙනකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පෙරේදා (4) සවස ඕල්කට් මාවතේ අපරාධ මර්දන රාජකාරියේ නිරත වෙමින් සිටිය දී මාර්ගයේ  සැක කටයුතු ලෙස රැඳී සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඕල්කට් මාවතේ බෝධි අසල පොලිස් මුරකුටිය වෙත ගෙන ගොස් ඔහු පරීක්ෂා කිරීමට සූදානම් අවස්ථාවේ සැකකරු එයට විරුද්ධ වී පොලිස් නිලධාරීන් වෙත තහනම් පිහියක් එල්ල කර මුරකුටියේ වීදුරු ජනේල වලට අතින් පයින් පහර දී අලාභ හානි කර පොලිස් අත්අඩංගුවෙන් පලා යාමට උත්සාහ ගෙන ඇති බව පොලිසිය පවසයි.



පොලිස් නිලධාරීන් වෙත තහනම් පිහියක් එල්ල කර තර්ජනය කිරීම, පොලිස් මුරකුටියට පහර දී අලාභ හානි කිරීම යන වැරදි සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් ස්ථානයට ගොස් ප්‍රශ්න කිරීමේ සැකකරු විවෘත වරෙන්තුකරුවෙක් බවට අනාවරණය කරගෙන ඇත. වීදුරුවලට පහර දීම සම්බන්ධයෙන් සැකකරු කැපුම් තුවාල ලබා ඇති අතර, පොලිස් නිලධාරීන් සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. පිටකොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ශීනාත් ප්‍රසන්න ජයසූරිය