piliyandala-asp-story

පිළියන්දල පොලිසියට පැමිණ පොලිස් නිලධාරීන්ගේ මෙන්ම නිල ඇඳුමේ ගෞරවය ද කෙලෙසන ආකාරයෙන් නිලධාරීන්ට බැණ වැදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට ඊයේ (6) කැඳවා ඔහුගෙන් පැය 7 කට අධික කාලයක් ප්‍රකාශ ගත් බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් ඊයේ පෙරවරු 9.30 සිට පස්වරු 4 පමණ දක්වා ප්‍රකාශ සටහන් කරගෙන ඇත.ඇසළ පොහෝ දින පිළියන්දල පොලිසියට පැමිණි සහකාර පොලිස් අධිකාරීවරයා ඔහු දන්නා හඳුනන කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලක් කඩිනමින් විභාග නොකළැයි චෝදනා කරමින් එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැණ වැදී පොලිස් භූමියේ ඒ මේ අත ඇවිදිමින් පැයකට අධික කාලයක් ගතකර ඇත.



ව්‍යාපාරික කටයුත්තක දී ඇති වූ මුදල් ආරවුලක් සම්බන්ධයෙන් කාන්තාවක ඉකුත් 2 වැනිදා පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඊට සම්බන්ධ වගඋත්තරකාර පාර්ශ්වය පැය  විසිහතරක් යාමට මත්තෙන් පොලිසියට කැඳවා පැමිණිල්ල කඩිනමින් විභාග නොකළ බවට සහකාර පොලිස් අධිකාරීවරයා එම පැමිණිල්ල කළ කාන්තාව ද සමග පැමිණ පොලිස් නිලධාරීන්ට බැණ වැදී ඇතැයි වාර්තා වේ. පිළියන්දල පොලිසිය එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් උසස් නිලධාරීන් වෙත යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඊට පසු දිනම (5) පිළියන්දල පොලිසියට පැමිණි පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් අට දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

ඊට අමතරව සහකාර පොලිස් අධිකාරිවරයා සේවය කරන ප්‍රජා පොලිස් ඒකකයේ අධ්‍යක්ෂවරයාගෙන් සහ ස්ථානාධිපතිවරයාගෙන් ද ප්‍රකාශ ලබාගෙන තිබිණි.පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩි. එස්. වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.
බිමල් ශ්‍යාමන් ජයසිංහ