police-igp-court

කංසා ළඟ තබාගත් බවට අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් බොරු චෝදනා යටතේ නඩු පැවරීමෙන් තන්තිරිමලේ පොලිසියේ කොස්තාපල්වරයකුට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයා වෙනුවෙන්

මැදච්චච්චිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා හමුවේ ඊයේ (24) විවෘත අධිකරණයේදී අදාළ පොලිස් කොස්තාපල්වරයාගෙන් සමාව අයැද සිටියේය.

තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ එම පොලිස් කොස්තාපල්වරයාගෙන් පලිගැනීම සඳහා සැලසුම් සහගතව ගංජා මිලි ග්‍රෑම් 85,010 ක් සන්තකයේ තබා ගැනීම, ඡාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පතිවරයාගේ නියෝග මත විශේෂ විමර්ශන කාර්යංශය කළ විශේෂ විමර්ශනයකදී අනාවරණ වූ බව දැනුම් දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ මහතා පලි ගැනීමේ චේතනාවෙන් පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව නඩු පැවරු අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනාගේ වැඩ තහනම් කර ද්වේෂ සහගතව නඩු පැවරීමේ චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව මෙම අධිකරණයේම නඩු පවරන බවටද සහතික විය.



තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ මැදවච්චිය ඇටවීරගොල්ලෑව පදිංචි පොලිස් කොස්තාපල් (83840) ජේ.ඩී. සඳුන් මහතාට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් පවරා තිබූ නඩුව ඉල්ලා අස්කරගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ වන විට වැඩ තහනම් කරනු ලැබ සිටින මෙම කොස්තාපල්වරයා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවටද අධිකරණයට සහතික විය. මීට වසර දෙකකට පෙර ගංජා මිලි ග්‍රෑම් 85,010 ක් ළඟ තබා ගැනීම ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් තන්තිරිමලේ පොලිසියේ කොස්තාපල් (83840) ජේ.ඩී. සඳුන් මහතාට එරෙහිව පනවා ඇති නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දුන්නේය. පොලිස් කොස්තාපල් සඳුන් මහතා අනීතිකව අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව ද්වේෂ සහගතව නඩු පැවරීමේ චෝදනා මත අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක සංජීව අනුරාධ අලුත්ගෙදර, උප පොලිස් පරීක්ෂක බාලසූරිය, පොලිස් සැයරන්වරුන් වන (53403) මංජුල, (12406) චතුරංග සහ පොලිස් කොස්තාපල්වරුන් වන (71531) මධුසංඛ (68493) සේනාරත්න සහ (34027) ආනන්ද නමැත්තන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුම් දුන්නේය.

2021 ජනවාරි මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගංජා මිලි ග්‍රෑම් 85,010 ක් ළඟ තබා ගැනීම ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් තන්තිරිමලේ පොලිසියේ සේවය කළ කොස්තාපල් සඳුන් මහතාට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය. එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ මහතා එම වාර්තාව ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව ලැබුණු පැමිණිල්ලකට අනුව තම කාර්යාංශය විර්ශනයක් කළ බවත් පොලිස් කොස්තාපල්වරයාගෙන් පලිගැනීමේ චේතනාවෙන් සැලසුම් සහගතව මෙම අපරාධයට ඔහු කොටු කර ඇති බව එම විමර්ශනයේදී හෙළිවූ බවත් දැනුම් දුන්නේය.



පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් විවෘත අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක් කළ ඩී.එස්. වික්‍රමසිංහ මහතා නොකළ වරදකට පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව නඩු පැවරීමෙන් ඔහුට වූ අසාධාරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමා ඔහුගෙන් සමාව ඇයද සිටින බව සඳහන් කළේය. නීතියට පටහැනිව පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් ඔහුට එරෙහිව ද්වේශ සහගතව නඩු පැවරූ අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනා මේ වන අනුරාධපුර පොලිස් කොට්ඨාසයෙන් වෙනත් පොලිස් කොට්ඨාසයකට මාරු කර යවා ඇති බවත් ඔවුන්ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ගන්නා බවත්, දැනුම් දුන් ඩී.එස්. වික්‍රමසිංහ මහතා පදනමකින් තොරව විත්තිකාර පොලිස් කොස්තාපල්වරයාගෙන් පලි ගැනීම සඳහා ඔහුට එරෙහිව ද්වේෂ සහගතව නඩු පැවරීමේ චෝදනා යටතේ අදාළ නිලධාරීන්ට එරෙහිව මෙම අධිකරණයේම නඩු පැවරීමට කටයුතු කරන බවද දැනුම් දුන්නේය.

පොලිස් කොස්තාපල් ජේ.ඩී. සඳුන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලීන් දිමුතු බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කරමින් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ නීති විරෝධී ක්‍රියාව හේතුවෙන් තම සේවාදයකයාගේ රැකියාව අහිමිව කලක් රිමාන්ඩ් බාරයේ පසුවීමටද සිදුවූයේ යැයි කීය. තම සේවාදාකයගේ බිරියද පොලිස් නිලධාරිනියක යැයිද තම සේවාදායකයා අත්අඩංගුවට පත්වීම නිසා දරුවා පාසලට ඇතුළත් කර ගැනීමට පවා නොහැකි වූයේ යැයිද කී නීතිඥ නලීන් දිමුතු බංඩාර මහතා නීතිය අවභාවිත කරමින් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ මෙම අශිෂ්ට ක්‍රියාවෙන් පොලිස් දොපර්තමේන්තුවේ කීර්ති නාමයටද මහත් කැළලක් වී ඇතැයිද කීවේය.

මින් තම සේවාදායකයාට වූ අගතිය කියා නිම කළ නොහැකි ඔහු යැයිද කීය.

තම සේවාදාකයා අනීතිකව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි පවසමින් අදාළ පොලිස් නිලධාරින් 7 දෙනාගෙන් රුපියල් කෝටි 10 ක වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක්ද පවරා ඇතැයි නීතිඥ නලීන් දිමුතු බණ්ඩාර මහතා පැවසීය. කෙසේ වෙතත් පොලිස්පතිවරයාගේ නියමයෙන් කළ විමර්ශනයේදී තම සේවාදායකයාගේ නිර්දෝෂිභාවය හෙළි කර ගනිමින් ඔහුට එරෙහි නඩුව ඉල්ලා අස් කර ගැනීමට මෙන්ම තම සේවාදායකයාට එරෙහිව නීතිය අවභාවිත කළ නිලධාරීන් හඳුනා ගැනීමටත් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමටත් පොරොන්දුවීම පිළිබඳව පොලිස්පතිවරයාට සහ දෙපාර්තමේන්තුවට කෘතඥතාව පළ කළේය. පැමිණිල්ල වෙනුවෙන් මැදවච්චිය පොලිසියේ නිලධාරීන් සමඟ පොලිස් විශේෂ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ මහතා පෙනී සිටියේය. සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් නීතිඥ නලීන් දිමුතු බණ්ඩාර මහතා පෙනී සිටියේය.
 උපාලි ආනන්ද