police-incident

පොලිස් කොස්තාපල්වරියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන වට්ස් ඇප් සහ ෆේස් බුක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (15) අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ පොලිස් මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කරන කොස්තාපල්වරයෙකි. අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර පරික්ෂාවට ලක්කර ඇත.

ඔහු අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටින අයකු බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මීගමුව කොට්ඨාසය යටතේ පාලනය වන පොලිසියක කොස්තාපල්වරියක විසින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර මෙම කොස්තාපල්වරියගේ වැඩ ද තහනම් කළ බව මීගමුව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම සිද්ධියට අදාළව මූලික විමර්ශනයක් පවත්වා කොස්තාපල්වරියගේ වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයකු විසිනි.

මෙම කොස්තාපල්වරිය මිල්ලනිය පොලිසියේ රාජකාරිය කරමින් සිටින වකවානුවේ දී ඇය පොලිස් ස්ථානයේ කාන්තා භට නිවාසයේ සිට දුරකථන සංවාදයක නිරත වෙමින් නිල ඇඳුමෙන් සැරසී පපු ප්‍රදේශය පෙනෙන ආකාරයට පටිගත කළ වීඩියෝ දර්ශන මුහුණු පොත හා වට්ස්ඇප් සමාජ මාධ්‍ය මගින් පළ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

පොලිස් කොස්තාපල්වරියගේ වැඩ තහනම් කර ඇත්තේ, මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් යැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය