police-madurankuliya-incident

පොලීසියෙන් බේරීම සදහා තම තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට තබා ගනිමින් අමානුෂික ලෙස දරුවාට කැපුම් තුවාල සිදු කළ සැකකරුවකු මදුරන්කුලිය පොලීසිය මගින් පෙරේදා (18දා) සවස මහත් පරිශ්‍රමයක් දරමින් අත් අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය ජින්නා වත්තේ පදිංචි 28 හැවිරිදි සැකකරුවකු බව පොලීසිය කියයි.

මදුරන්කුලිය ජින්නා වත්තේ නිවසක පදිංචි මෙම සැකකරු ඔහුගේ අනියම් බිරිදට පහර දෙමින් ඇති බවට මදුරන්කුලිය පොලීසියට පෙරේදා(18දා) දහවල් ලැබුණ තොරතුරක් මත අදාළ ප්‍රදේශයට පොලිස් නිලධාරීන් දෙදෙනකු ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන රැගෙන ඒමට කටයුතු කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් මතුව තිබේ.



පොලිස් අත් අඩංගුවේ සිටි මෙම සැකකරුගේ ඥාතීන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සැකකරුට පලා යෑමට පහසු වන ලෙස කටයුතු කර තිබේ.

එම ස්ථානයෙහි ඇති වු උණුසුම් තත්ත්වය මත පොලිස් නිලධාරීන් දෙදෙනා පොලිස් ස්ථානයට ගොස් ඇත. පසුව පොලිස් රාජකාරියට බාධා කළ සැකකරුගේ පියා හා ඥාතීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

නැවත තමා අත් අඩංගුවට ගැනීමට ජින්නා වත්ත ප්‍රදේශයට මදුරන්කුලිය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණෙනු දුටු සැකකරු ඔහුගේ තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට ගෙන තිබුණේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තම පියා ඇතුළු ඥාතීන් තිදෙනා නිදහස් කරන ලෙසත්, එසේ නොකළහොත් දරුවා මරා දමන බවටත් පොලීසියට තර්ජනය කරමිනි.



සැකකරු තමා අත තිබූ පිහියක් ගෙන ඒ වන විටත් පිට ප්‍රදේශයට තුවාල සිදුකර ගෙලට පිහිය තබා දරුවා මරා දමන බවට නැවත පොලීසියට තර්ජනය කර තිබේ. ඒ සමගම පොලීසිය දරුවාගේ ආරක්ෂාව සදහා තමන් සතු ආයුද පසෙක තබා නිරායුද වීමට කටයුතු කර තිබිණ.

සැකකරු ඔහු අත තිබූ තියුණු ආයුධය එහෙ මෙහෙ වනමින් කිසිවකුට ළං නොවිය නොහැකි වන ලෙස කටයුතු කර ඇත. ඒ සමගම කඩිනමින් ක්‍රියාත්මක වූ සැකකරුගේ ඥාතියකු එකවර සැකකරු වෙත කඩා පැන ඔහු පෙරළා ගැනීමත් සමග පොලීසිය ක්ෂණිකව ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වන විටත් කැපුම් තුවාල ලබා සිටි තුන් හැවිරිදි දරුවා කඩිනමින් පුත්තලම මූලික රෝහල වෙත ප්‍රතිකාර සදහා යැවීමට කටයුතු කර ඇත.

මදුරන්කුලිය පොලිස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීහූ පරීක්ෂණ පවත්වති. පොලීසිය එහිදී කටයුතු කළ ආකාරය පිළිබඳව ගම්වාසීහූ ප්‍රසාදය පළ කරති.

 පුත්තලම -හිරාන් ප්‍රියංකර ජයසිංහ / ආරච්චිකට්ටුව - ලලින් නවරන්න