පුත්තලම නගරයේ නිවසකට පෙරේදා (15) දින සවස පැමිණි නාඳුනන දෙදෙනකු නිවැසියන්ට දුන් කේක් හා බීම ආහාරයට ගැනීමෙන් ක්ලාන්තව සිහිසුන් වූ එකම පවුලේ පස් දෙනකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. මෙසේ පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත්තේ බිරිය, විසිනව හැවිරිදි කරණවෑමියකු හා ඔහුගේ 63 හැවිරිදි බිරිද, 29 හැවිරිදි දියණිය, කරණවෑමියාගේ 86 හැවිරිදි පියා හා 84 හැවිරිදි මව ඇතුළු පිරිස බව පොලිසිය සඳහන් කරයි. පුත්තලම නගරයේ අතුරු මාර්ගයක පිහිටි මෙම නිවසට පැමිණි ආගන්තුකයන් දෙදෙනා හෘද සැත්කමකට ලක්කර සිටි නිවෙස් හිමි කරණවෑමියාට හිතවත්කමක් පෙන්වා කලක සිට හඳුනන බව පවසා ඔහුට පුද්ගලික ආයතනයකින් ලැබුණු රුපියල් 50000ක චෙක්පතක් ප්‍රදානය කිරීමට කටයුතු කර ඇති බව පණිවිඩයක් ගෙනත් ඇති බව පොලිසිය කියයි.



චෙක්පත පිරිනැමීමට ප්‍රථම රැගෙන ආ බීම බෝතලයද බොන්නටදී කේක් කපා එය ඡායාරූප ගෙන චෙක්පත ප්‍රදානය කරන ආයතනයට යැවිය යුතු බව පවසා සඳහන් කර ඇත. ඒ අනුව එම යෝජනාවට එකඟ වී ඇති නිවැසියන් කේක් කපා ආහාරයට ගෙන බීම පානය කර ඇත. නිවෙස් හිමි හෘද රෝගී කරණවෑමියා කුඩා කේක් කෑල්ලක පමණක් රස බලා ඇති අතර ඔහු බීම පානය කර නොමැති බව කියති. නාඳුනන පුද්ගලයන් දෙදෙනා රැගෙන ආ කේක් කා බීම පානය කළ තම බිරිය, දියණිය, පියා හා මව සුළු වේලාවකින් සිහිසුන්ව ඇද වැටෙනු දුටු කරණවෑමියා කඩිනමින් පුත්තලම නගරයේ රැකියාවක නිරත නිරත තම වැඩිමහලු දියණියට ඇමතුමක් ගෙන නංගී වැටුණා, යැයි පමණක් පවසා ඇති බවත් ඒ ඔහුද සිහිසුන්ව ඇද වැටී ඇති බවත් කියති.



දියණියට දුරකතන ඇමතුමදීමෙන් පසු කලබල වූ සැකකරුවන් දෙදෙනා නිවසින් කඩි නමින් පැන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. තම පියා දුන් දුරකතන ඇමතුමෙන් පසු කිසිඳු පිළිතුරක් පියගෙන් නොලැබීමෙන් කලබලයට පත් දියණිය කඩිනමින් ත්‍රිරෝදයක නැගී නිවෙසට පැමිණ ඇති බවත් ඒ වනවිට නිවසේ සියලු දෙනාම සිහිසුන්ව ඇද වැටී සිටි බවත් කියති. පසුව අසල්වැසියන්ට කෑ ගසා මෙම සියලු දෙනා පුත්තලම රෝහලට රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. වැඩිමහලු දියණිය නිවසට පැමිණෙන පිටස්තර කිසිවකු එහි නොසිටි බවද පොලිස්  පරීක්ෂණවලදී හෙළිවී ඇත. සැකකරුවන් නිවස කොල්ලකෑම හෝ වෙනත්අරමුණකින් මෙම නිවෙසට පැමිණ ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පස් දෙනා අතරින් 86 හැවිරිදි පියා හා 84 හැවිරිදි මව දැඩි අසාධ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
හිරාන් ප්‍රියංකර ජයසිංහ