අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක පිරමීඩ ජාවාරමකට හසුව, සිත් තැවුලකට පත් වළස්මුල්ල ප්‍රදේශයේ ක්‍රීඩා ගුරුවරයකු පාසල් ක්‍රීඩා කාමරය තුළ එල්ලී මිය ගොස් ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ, වළස්මුල්ල පල්ලෙකන්ද උතුර කණුමුල්දෙණිය විද්‍යාලයේ ක්‍රීඩා උපදේශකවරයකු වශයෙන් කටයුතු කළ ශ්‍රීනාත් දර්ශන (38) නමැති දෙදරු පියකු බව වළස්මුල්ල පොලීසිය පවසයි. මෙම ගුරුවරයා ඉකුත් 1 1 වැනිදා සිට අතුරුදන්ව සිට ඇති අතර, විදුහල්පතිවරයා ඔහු පිළිබඳව සොයා බැලීමේදී ඔහුගේ සිරුර ක්‍රීඩා කාමරයේ බාල්කයක එල්ලෙමින් තිබියදී එදිනම සොයාගෙන ඇති අතර, විදුහල්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් වළස්මුල්ල පොලීසියට කළ දැනුම්දීමකට අනුව පොලීසිය ගොස් මළ සිරුර ඉවතට ගෙන ඇත.
මෙම ගුරුවරයා මිය යාමට පෙර ඔහු සිය දිවි නසාගන්නා බවට රතු පෑනකින් ලියූ ලිපියක් ද හමු වූ බව පොලීසිය කියයි. මෙම ගුරුවරයා ආකර්ෂණීය පොලියක් වෙනුවෙන් නීති විරෝධී පිරමීඩ ජාවාරමක විශාල මුදලක් ආයෝජනය කර ඇති අතර, එම මුදල නොලැබීම නිසා ඇති වූ සිත්තැවුලක් මත මෙලෙස සිය දිවි නසාගන්නට ඇතැයි පොලීසිය සැක කරයි. තමන් පිරමීඩ ව්‍යාපාරයක විශාල මුදලක් ආයෝජනය කළ බවත්, එහි ප්රතිලාභ නොලැබුණහොත් සිය දිවි නසා ගැනීමට සිදුවන බවට මිතුරකුට පවසා ඇති බවත්, ඔහු මිය යාමට මාසයකට පමණ ඉහත දී මිතුරකුට පවසා ඇති බව ද වාර්තා වේ.
ඔහු පිරමීඩ ජාවාරමක මුදල් අයෝජනය කළ බවට ඔහුගේ බිරිඳ හෝ ඥාතීන් දැන සිට නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරගැනීම සඳහා විමර්ශන සිදු කරන බවත් වළස්මුල්ල පොලීසිය පවසයි. හම්බන්තොට ප්‍රදේශයේ බොහෝ පිරිසක් නීති විරෝධී පිරමීඩ ජාවාරමට සම්බන්ධ වී ඇති බවත්, එම පිරිස අතර පොලිස් නිලධාරීන් ද වන බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි. මුදල් ආයෝජනය කළ බොහෝ පිරිසකට මුදල් අහිමි වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පොලීසියට ද පැමිණිලි රැසක් ලැබී ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.
දිලීප් ජයසේකර
0 Comments