ragama-hospital-death

තුන් කළල නල දරු උපතකට සූදානමින් සිටි ගැබිණි මාතාවක රාගම රෝහලේදී අකාලයේ මියයාමේ සිදුවීමක් වාර්තා විය.
වයස 36 ක් වූ ඇයට දරුවන් ලැබීම ප්‍රමාද වීමෙන් පසු  නාරාහේන්පිට පුද්ගලික රෝහලකදී නළ දරු උපතක් වෙනුවෙන් ඩිම්බ කිහිපයක් තැන්පත් කර ඇති අතර දරුවන් තිදෙනෙකු පිළිසිඳගෙන ඇතැයි දැනගන්නට ලැබී ඇත. කෙසේ වෙතත් සති 23 ක් වැනි අඩු කාලයකදී ඇයට රුධිර වහනයක් සිදුවී අපහසුතා පැනනැගී තිබේ.මේ හේතුවෙන් ඇය රාගම රජයේ රෝහලට ඇතුළත් කරන්නට සිදුව ඇත්තේ හදිසියේය. එම අපහසුතා මැද ඇය රෝහලේදී මියගොස් ඇත. කෙසේ වෙතත් මියගිය ගැභිනි මවගේ පවුලේ අය චෝදනා කරන්නේ රෝහලේ නොසැලකිල්ල නිසා මෙම මරණය සිදුව ඇති බවයි.


මිය ගිය ලවන්ති චතුරි ජයසූරිය කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වූ අතර ඉතිහාස විෂය ගුරුවරියක ලෙස ගෝනවල පමුණුවිල විද්‍යාලයේ උගන්වමින් සිටියාය.

නල දරු උපතක් වෙනුවෙන් තැන්පත් කිරීමක් සිදු කළ ඇයගේ දරු ගැබට මාස 6ක් සම්පූර්ණ වූ අවස්ථාවේ අධික ලෙස රුධිර වහනය හේතුවෙන් වරින් වර පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගෙන ඇති ඇය පසුව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ හදිසියේය. ඒ ඇය ප්‍රතිකාර ලැබූ මහාචාර්ය වෛද්‍යවරයාගේ උපදෙස් පරිදිය.

ලවන්ති ජයසූරියගේ මව හඬා වැටෙමින් කියා සිටියේ,
“මියගිය දරුවා වේදනාවක් දරාගෙන කෑගහද්දි කවුරු හරි ඇවිත් බැලුවා නම් අද මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.එබෙහෙත් ගත්ත මහාචාර්යවරයා ස්කෑන් කරලා බලලා රාගම රෝහලේ එයාගේ වාට්ටුවට ඇතුළත් වෙන්න ඇවිත් බලන්නම් කිව්වත් දවස් තුනක් යන කල් දුව බලන්න ආවේ නැහැ. දුව හැමතිස්සෙම මගේ යටිබඩ රිදෙනවා, කොන්ද රිදෙනවා කියලා කෑගැහුවා.කාර්ය මණ්ඩලයේ මිසීලාට කවුරුත් අවේ නැහැ. ඔය කාලෙට ඔහොම තමයි, කියලා ඒ අය කිවුවා. පස්සේ දරුවා හිටගෙන ඉන්න විට ලේ කුට්ටියක් එක්ක දරුවෙක් බිමට වැටුණා. ඒක දැකපු මිඩ් වයිෆ් කෙනෙක් ඇවිත් අපෝ කියලා වීල් චෙයා එකක් ගෙනත් දුවව වාඩි කෙරෙවුවා. එතකොට තමයි හැමෝගෙම ඇස් ඇරුණේ. එයා ඇවිත් බිම තිබුණ ලේ කුට්ටිය මගේ දරුවාගේ උකුළ උඩින් තිබ්බා.

ලේ පෙරෙද්දි දුවව ලේබර් රූම් එකට අරගෙන ගියා. අරගෙන ගිය පාරේ හරකෙක් මැරිලා වගේ ලේ ගොඩක් තිබුණා. මගේ දරුවා පාන්දර 5 වෙනකල් වේදනාවෙන් කෑගැහුවා; දැඟලුවා. දරුවෝ තුන් දෙනාට මොනා වුණාද අපි දන්නේ නැහැ. අපි දරුවෝ දෙන්නෙක් දැක්කේ නැහැ. අපට පෙන්නුවේ නැහැ. මොන තරම් කරුමයක් කරලා තිබෙනවාද අපට මෙහෙම වෙන්න. මේ දේට වගකියන්න ඕනෑ රෝහල් බලධාරීන්....“ යැයිද මිය ගිය ලවන්තිගේ මව ඇඬූ කඳුළින් යුතුව පැවසුවාය.

සිද්ධිය පිිළිබඳ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ එස්. ලියනගේ  මෙසේ පැවසුවේය:

“සිද්ධියට මුහුණ පෑ කාන්තාව නළදරු උපතක් සඳහා පෞද්ගලික රෝහලකින් මූලික උපදෙස් ගෙන නළදරුවන් තිදෙනකු තැන්පත් කරගෙන තිබුණා. දරු ගැබට මාස හයකින් පස්සෙ ඇති වූ සංකුලතාවකට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර කරලා අවසානයේ ඒ රෝහලෙන් තමයි රාගම රෝහලට එවුවෙ. මගේ වෛද්‍යවරුන් ඔවුන්ට හැකි උපරිමෙන් ලෙඩාට අවශ්‍ය ප්‍රතිකාර කළා.දවස් හතරක් පමණ ඒ මව මේ රෝහලේ නේවාසිකව හිටියා. පස්වන දිනයේ තමයි මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ.

ඔය කියන වෛද්‍යවරයාම තමයි මීට ඉහත නළදරුවන් හයදෙනකු එක් මවකගෙ කුසයේ තැන්පත් කරලා මහත් හාස්කමක් කළේ. එදා කවුරුත් ප්‍රශංසා කළා. අද මේ රෝහලටත් වෛද්‍යවරුන්ටත් වැරදි කියනවා. පෞද්ගලික රෝහල්වලින් වැරදුණාට පසුව අපට ගේන්නේ අවසාන අවස්ථාවේදී. අපි රජයේ රෝහල් වශයෙන් නළදරුවන් තැන්පත් කිරීම් කරන්නෙ නෑ. මේ රෝහල ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ලොකුම රෝහල. පුත්තලමෙන් කුරුණෑගලින් පවා බරපතළ තත්ත්වයේ පසු වන රෝගීන් රැගෙන එනවා. දවසකට 400කට වැඩි රෝගීන් පිරිසක් නේවාසික රෝගීන් ලෙස මෙහෙට එනවා. මියගිය කාන්තාවට රෝහලෙන් නොසැලකූ බව කීම මට පිළිගන්න බැහැ.සති 23කින් විතර පස්සෙ තමයි මේ සංකුලතා ඇවිත් තිබුණේ.“

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (4) පමුණුවිල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.