බඩේ කැක්කුමට ප්‍රතිකාර සදහා රාගම රෝහලට ඇතුළත් කර සිටි 23 හැවිරිදි එක්දරු මවකට රෝහලෙන් දුන් එන්නතකින් ආසාත්මික තත්ත්වයට (ඇලජික්) පත්වීම හේතුවෙන් ඇය මියගොස් ඇති බව කඳාන පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පලිහවඩන ආරච්චිගේ හංසිකා සජානි පෙරේරා නමැති කාන්තාවක වන අතර ඇය ජාඇල උතුරු බටගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයගේ සැමියා පෞද්ගලික ආයතනයක සේවය කරන ගණකාධිකාරිවරයකු බව පොලිසිය කියයි.
ශරීරයට විෂබීජයක් ඇතුළුවීමෙන් රෝගාතුරව රෝහලට ඇතුළත් කළ මෙම කාන්තාවට දුන් එන්නතක් ආසාත්මිකවීමෙන් මෙම මරණය සිදු වී ඇති බව මියගිය තැනැත්තියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය ජේ.සී.බී. කොතලාවල මහතා සිය වාර්තාවේ සඳහන් කර ඇත.
හදිසි මරණ පරික්ෂක එස්.පී.ඩි.එන්. සේනානන්ද මහතා ඉදිරියේ, රාගම ශික්ෂණ රෝහලේදී පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් මියගිය කාන්තාවගේ සැමියා වන සංඛපාල ආරච්චිගේ අමිල පැතුම් දිසානායක මහතා මෙසේ පැවැසීය.
"මියගොස් සිටින්නේ මගේ බිරිඳ. ඉකුත් 26 වැනිදා ඇයට බඩේ කැක්කුමක් ඇතිවුණා. මම ඇය ප්‍රතිකාර ලබා ගැනීමට රාගම ශික්ෂණ රෝහලට ගෙන ගියා. ඇය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇයට ස්කෑන් (Scan) පරීක්ෂණයක් කරලා ඇයගේ පිත්තාශයේ කුඩා ගලක් තියනවා කියලා රෝහලේ 37 වැනි වාට්ටුවට ඇතුළත් කළා. 28 වැනිදා දහවල් මට රෝහලෙන් දැනගන්න ලැබුණා ඇයව ටිකට් කපා ගෙන ගෙදර ගෙනි යන්න පුළුවන් කියලා. නමුත් එදින සවස දැනගන්නට ලැබුණා ඇයගේ ශරීරයට විෂබීජයක් ඇතුළුවෙලා කියලා. එයට ප්‍රතිකාර වශයෙන් එන්නතක් ලබාදීලා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා ඉන්නවා කියලා කිව්වා. නමුත් 29 වැනිදා සවස 2.30 පමණ ඇය රෝහලේදී මිය ගොස් ඇති බව මට දැනගන්න ලැබුණා."
කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගාමිණී හේවාවිතාරන මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (35506) සමන්ත මහතා විසින් සාක්ෂි මෙහෙයවන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සම්පත් ලියනගේ රණවීර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ මෙම කාන්තාවට දුන් එන්නතක් ආසාත්මික වීමෙන් මෙම මරණය සිදුව ඇති බවය.
ඔහු මෙසේද කීවේය.
"බඩේ අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට ඉකුත් 26 වැනිදා රාගම රෝහලට ඇතුළත් කළ කාන්තාවක ප්‍රතිකාර ලබමින් සිටියදී ශරීරගත වූ විෂබීජයක් නිසා එයට ප්‍රතික්‍රියාවක් වශයෙන් රෝහලෙන් එන්නතක් ලබාදිලා තියෙනවා.
එම එන්නත ඇලජික් (ආසාත්මිකවී) රෝගියා මිය ගොස් තිබෙනවා.
මේ එන්නත් කාණ්ඩයේ එන්නත් අනෙක් රෝහල් වලත් දැනට භාවිතා කරනවා. රාගම ශික්ෂණ රෝහලෙන් මේ බෙහෙත් කාණ්ඩය මේ වනතුරු රෝගීන්ට ලබා දුන්නා. මේ වගේ සිද්ධියක් විය හැක්කේ ඉතාමත් කලාතුරකින්. නමුත් එවැනි සිද්ධියක් රාගම රෝහලේ සිදුවීම ගැන කනගාටුවට කරුණක්. මෙය රෝගියාගේ අවාසනාවටම සිදු වූ දෙයක් විය හැකියි.
කෙසේ හෝ මෙම සිද්ධිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. ඒ අතරම අදාළ බෙහෙත් කාණ්ඩය රෝගීන්ට ලබාදීම වහාම නතර කිරීමට පියවර ගත්තා. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරලයි තියෙන්නේ.
එහි ප්‍රතිඵල ලැබෙන තුරු මේ බෙහෙත් කාණ්ඩය පාවිච්චි කිරීම රාගම ශික්ෂණ රෝහල තුළ තහනම් කර තිබෙනවා" යැයිද ඔහු කීවේය.
තිස්ස කොටින්කඩුව
0 Comments